විහාරස්ථානවල විදුලි බිල දරාගත නොහැකි ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් එළඹෙන පුන් පොහෝ දින විහාරස්ථානයන්හි විදුලි පහන් නිවාදමා දායකයින් සමඟ එක්ව විරෝධය දැක්වීම සඳහා වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාවට ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක,ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම ඊයේ (19) එම විහාරස්ථානයේදී පවත්වා ඇත.
ඉදිරියේදී කඨින චීවර පූජා ඇතුළු බෞද්ධාගමික උත්සව හා වැඩසටහන් රැසක් සිදු කිරීමට නියමිත බවත් අත්තනෝමතික ලෙස විදුලි බිල වැඩි කිරීම නිසා මේවන විට එම උත්සව පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත් ගලහ සිරිසාන්ත හිමියන් සංඝ සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළහ.
මැති ඇමතිවරු රුපියල් කෝටි ගණනින් හිඟ විදුලි බිල් නොගෙවා සිටියදී මේ අන්දමින් භික්ෂූන් වහන්සේ අපහසුතාවට පත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද උන්වහන්සේ කීහ.
විහාරස්ථාන වල විදුලිය අවභාවිත වන බවට ඇමැතිවරයා කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බවත් අදාළ ගැටලුව සම්බන්ධව ජනපතිවරයාගේ මෙන්ම බුද්ධශාසන අමැතිවරයාගේ අවධානය කඩිනමින් යොමු විය යුතුව තිබෙන බවත් සිරිසාන්ත හිමියෝ ප්‍රකාශ කළහ.
මේ අතර ඊයේ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් මිහින්තලේ පූජා භූමිය වෙත ගිය අවස්ථාවේ දී එහි විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවහැංගුණවැවේ ධම්මරතන හිමියන් රජය විවේචනය කරමින් විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳවද අගමැතිවරයා ඇතුළු නියෝජිජිත පිරිසට දෝෂාරොපණය කළහ.
උන්වහන්සේද පවසා සිටියේ මේ විදුලිබිල ගෙවන්නට තමන්වහන්සේට නොහැකි බවය.
එමෙන්ම පෙරෙදා ගාල්ලේ පැවති ආගමික උත්සවයකට සම්බන්ධ වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන කීවේ පන්සල්වල විදුලි ආලෝකය නොදල්වා තැබිය නොහැකි බවත් පන්සල් ඇතුළු ආගමික සිද්ධස්ථාන වෙත විදුලි බිල සම්බන්ධව සාධාරණ ප්‍රවේශයක් අනුගමන කිරීම සඳහා තමන් අදාල අංශ වෙත යෝජනා කරන බවත්ය.