බිලියන 3.5ක වැට් බද්දක් නොගෙවා වංචා කිරීමේ වරදට ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනකුට මාස හයක සිර දඬුවමක් නියම කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ අද නියෝග කළේය.
පාරිභෝගිකයාගෙන් අයකරගත් වැට් බද්ද නොගෙවා පැහැර හැරීම සම්බන්ධවත් ගෙවි යුතු සුරාබදු නොගෙවා පැහැර හැරීම සම්න්ධවත් මෙන්ඩිස් සමාගමට චෝදනා එල්ල වී තිබිණි.
2016 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.
අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වෙනිදා නියෝගයක් නිකුත් කළත් අධිකරණ නියෝගය පැහැර හැරිය අලෝසියස් අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී අධිකරණයේ පෙනී සිටියේය.
එම අවස්ථාවේදී අදාළ මුදල් ගෙවා නොතිබීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම දඬුවම නියම කළේය.
එමෙන්ම මත්පැන් බෝතල් සඳහා නිකුත් කරන ආරක්ෂිත ස්ටිකර ව්‍යාජ ලෙස මුද්‍රණය කර අලවා බදු වංචා කිරීම සම්බන්ධයෙනුත් මෙන්ඩිස් සමාගම චෝදනා ලැබ තිබිණි.







