පියා විසින් නිවසේදී වාහනය සෝදා දමා ඔහු නානකාමරයට ගිය අවස්ථාවේදී පුතා විසින් ජිප් රථය රැගෙනවිත් ඇති බව, අද (04) පෙරවරුවේ, වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුරෙන් පසු, අනතුර සිදුකළ බායවයස්කරුගේ පියා පවසා තිබේ.
“වාහනය හෝදලා තියලා මම නානවා. නාන වෙලාවේ තමයි මේක මේ පැදගෙන ඇවිත් තියෙන්නේ. නවය හමාර වෙද්දි මම කොළඹ යන්න ඕනේ. මේ කොහෙවත් ගමනක් ගිහිල්ලා නෙමෙයි ඔය නිකන් අරගෙන ඇවිත්. දොස් කියන්නේ දෙමාපියන්ට. අපි වරදවල් කරන්නේ නැහැ. පණ වගේ බලනවා. එතකොට දොස් කියන්නේ අපිට.”
කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ මෝටර් රථයක, ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් අයකු මියගියේය.
අද පෙරවරු 09.30ට පමණ එම අනතුර සිදුව ඇති අතර 16 හැවිරිදි දරුවකු විසින් සුඛෝපභෝගී මෝටර් රථය පදවා ඇති බව පොලීසිය කීය.
අනතුරින් තවත් පුද්ගලයෙක් බරපතළ තත්ත්වයේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය. අනතුරේ CCTV දර්ශන මේ වන විට පොලීසිය විසින් නිකුත් කර තිබේ.
සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ 16 හැවිරිදි ළමයා සහ රථයේ හිමිකරු වන ඔහුගේ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
“අද පෙරවරුවේ මහබාගේ පොලිස් වසමේ බරපතළ ගණයේ මාරක රිය අනතුරක් සිදුවුණා. කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වු ජීප් රථයක් එහි රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතර පැන මීගමුව දෙස සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ කාර් රථයක, ත්‍රීරෝද රථයක හා යතුරුපැදි දෙකක ගැටීම නිසා එම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් 5 දෙනෙක් තුවාල ලබා රාගම රෝහල ඇතුළත් කරනු ලැබුවා. එයින් වයස 51ක මහබාගේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. තවත් එක් පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙනවා. අනෙක් දෙදෙනා තවදුරටත් රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී අනාවරණය වුයේ, එම ජීප් රථය පැඳවූ රියදුරුගේ වයස අවුරුදු 16ක් බවයි. එම ළමයාට ජීප් රථය පැදවීමට අවස්ථාව ලබාදුන් ජීප් රථයේ හිමිකරු වන ඔහුගේ පියාත් මේ වන විට අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව රියදුරා ද අත්අඩංගුවේ පසුවෙනවා. ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මහබාගේ පොලිස් ස්ථානය මඟින් තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා.”