දිනසේන රතුගමගේ
පාර්ලිමේන්තුව තුළ 13 වෙනි හා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට පසුව ගෙන එන යෝජනා ගැන දෙමළ ජාතික සන්ධානයට තවමත් අවබෝධයක් නැතත් 13 හා 19 සංශෝධනයට පක්ෂව දෙමළ ජාතික සන්ධානය ඡන්දය ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා 26 දා ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිවරියට ප්‍රකාශ කොට තිබේ.
ඇමරිකානු තානාපතිවරිය වන ඇලයිනා රෙප්ලිස්ට් ඇතුලු පිරිසක් ත්‍රිකුණාමළයේදී සම්බන්ධන් මහතා හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ.
ඇමරිකානු තානාපතිවරිය හමුවීමෙන් පසුව සම්බන්ධන් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ තමන් හමු වීමට පැමිණි නියෝජිත පිරිස මහ මැතිවරණය හා එහි ප්‍රතිපල පිළිබදව සාකච්ඡා කළ බවයි.
අනතුරුව රජය විසින් පාර්ලිමේන්තුව තුළ සිදු කිරීමට යන ව්‍යවස්ථා සංශෝධන හා වත්මන් දේශපාලන තත්ත්වය සාකච්ඡා කළ බවත් එහිදී තමන් 13 හා 19 ව්‍යවස්ථා වෙනස් කිරීමට පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ඡන්ද විමසීම වලදී දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් රජයට පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකරණ බව දන්වා සිටි බවද සදහන් කළේය.
රජය විසින් සිදු කිරීමට යන මෙම ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබදව දැඩි අවධානයකින් සිටින ලෙස තමන් ඇමරිකානු තානාපතිවරිය ඇතුලු කණ්ඩායමෙන් ඉල්ලා සිටි බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළේය.









