වහා ඡන්දයක් පවත්වා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
සල්ලි තිබෙන බවට පම්පෝරි ගසන්නේ නම් මුලින්ම ඡන්දයක් තබන ලෙසත්, පසුපස දොරෙන් පැමිණ, අයුතු බලතල භාවිතා කරමින් මිනිසුන්ගෙ නිදහස සීමා කරන්නට නීති ගෙන එමින්, ඒකාධිපතිත්වයක් වෙත රට ගෙන යෑමට අප ඉඩ නොදෙන බවට මේ පාලකයින් මතක තබා ගත යුතු බවත් කාදිනල් තුමෝ කීහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (08) කටාන, කොච්චිකඩේ, මුරුතෑන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අමතමිනි.
එහිදි කාදිනල් හිමිපානෝ මෙසේ ද පැවසූහ.
”දුර්දාන්ත කිසිම කල්පනාවක් නැති, රටට ආදරයක් නැති, රටට වඩා තමන්ගේ බඩට ආදරය කරන නායකයින් පිරිසක් එක්ක මේ රට ගෙනියන්න හම්බෙන්නෙ නෑ අපිට. ඒ නිසා අපි සූදානම් වෙමු. අපි ඉල්ලනවා රජයෙන් අපිට ලැබිය යුතු අයිතිවාසිකමක් තමයි ඡන්දය පැවැත්වීම එය අවුරුදු 18ට වැඩි හැම දරුවෙකුටම රටේ අනාගතය තීරණය කරන්න අවශ්‍ය අයිතියක්, ඒ අයිතිය අපි ඉල්ලා සිටිනවා.
ඒ අය ඉස්සෙල්ලා කිව්ව සල්ලි නෑ කියලා, දැන් පම්පෝරි ගහනවා සල්ලි තියෙනවා කියලා. සල්ලි තියෙනව නම්, කරුණාකරලා ඡන්දය තියලා ජනතාවට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න.
පස්ස පැත්ත දොරෙන් ඇවිල්ලා, අයුතු බලතල පාවිච්චි කරමින් මිනිස්සුන්ගෙ නිදහස සීමා කරන්නට නීති ගෙන එමින්, ඒකාධිපතිත්වයක් වෙත අපේ රට ගෙන යෑමට අපිට ඉඩ දෙන්න බෑ, අපි ඉඩ දෙන්නේ නෑ. අන්න ඒක මතක තියාගන්න ඕනෙ ඔය ඉන්න නායකයෝ. ”
”යුක්තිය අයුක්තිය බවට හරවලා, පාලනය එකාධිපතිත්වයට හරවලා, නීතිය අවනීතිය ට හරවල සමාජය මෙහෙයවන්න අද රටේ ඉන්න නායකයෝ ඔක්කොම අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. ඒ නිසා ඒ වගේ අයව එළවා දැමීමේ අවස්ථාවට අපි සූදානම් විය යුතුය. ඒ වගේ අය මේ රට පාලනයට සුදුස්සෝ නෙවෙයි. ඒ අයව එලවා දැමිය යුතුයි.”
”සන්තෝසමක් දුන්නොත් ඒකට ඡන්දය ප්‍රකාශ කරන කාලය දැන් අවසන් කරන්න ඇවිල්ල තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් වගයක් එවලා තියෙනවා රටට. ඒ මුදල්වලින් කොච්චර ප්‍රමාණයක ද ගොවිතැන දියුණු කිරීම සඳහා යොමු වුණේ ?. ඒවා වලින් කොච්චර ප්‍රමාණයක් ද ධීවර ක්ෂේත්‍රය ගොඩනැගීමට යොමු වුණේ ?. ඒවායින් කොච්චර ප්‍රමාණයක් ද අධ්‍යාපනයට යොමු වුණේ ?. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය වැඩි කරනවට වඩා මේ අය කරන්නේ විදේශීය රටවල්වලින් බඩු කියන එක විවෘත කරලා අපිට අවශ්‍ය දේ අනවශ්‍ය දේ ගෙනල්ලා ආර්ථික ස්වාධීනත්වය විනාශ කරලා පිට රටවල් වලින් යැපෙන ක්‍රමවේදයකට අපේ ආණ්ඩුව අපිව මෙහෙයවමින් පවතිනවා.”
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ විවෘත ආර්ථිකය නඩත්තු කිරීම සඳහා බලගතු රටවල් විසින් හදන ලද යාන්ත්‍රණයක්. ඒගොල්ලො බලන්නේ කොහොම හරි ටික දෙනෙකුගේ අතේ රටේම ධනය හිරකරලා බොහෝ දෙනෙකුව දිළින්දන් වශයෙන් පවත්වා ගැනීමේ ආර්ථික ක්‍රමවේදයකට යන්නයි. අද සිද්ධ වෙන්න ඒක අපේ රටේ.”