කීර්ති ප්‍රනාන්දු –
ඉතිහාසයේ කිසිම ආදිවාසී නායකයෙක් අත් නොවිඳි කළකිරවන සුළු අත්දැකීමක් ලබමින් සිටින බවත් මේ වනවිට තමන්ටත් මරණ තර්ජන එල්ල වී ඇති බවත් ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ කීහ.
තමන්ගේ උරහිසේ ඇති පොරව ගෙන කැබලි වලට කපා කොටා මරා දමන බව තමන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේ ඉලක්ක කරගෙන එවූ ලිපියේ සඳහන් වී ඇතැයි ඔහු පැවසුවේය.
වන්නිලා ඇත්තන් මේ බව ප්‍රකාශ කළේ වසන්ත මුදලිගේට මරණ තර්ජන එල්ල කර වන්නිලා ඇත්තන්ට එවූ ලිපිය සම්බන්ධව ලංකාසර කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.
සිය ඥාති පුතනුවෙක් වූ වසන්ත මුදලිගේ සම්බන්ධව තමන් කතා කළේ මේ රටේ පුරවැසියෙක් ලෙස බවත් ඊට තමන්ට අයිතියක් ඇති බවත් කී වන්නිලා ඇත්තෝ තමන්ට සහ වසන්ත මුදලිගේට මරණ තර්ජන එල්ල කරමින් කුරුණෑගලින් තැපැල් කර ඇති ලියුම පිළිබඳව රටේ අවධානය යොමු කරවන බව ද කීය
වන්නිලා ඇත්තෝ මෙසේ ද පැවසූහ.
“මම මගෙ ඥාති දරුවෙක් වුන වසන්ත මුදලිගේ ගැන කතා කළා. ඔහු අසාධාරණ විදිහට හිරකරගෙන ඉන්න එපා කියන ඉල්ලීම කළා. වැරැද්දක් කරලා තියනවා නම් කට උත්තර අරන් රටේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු කරන්න කියන ඉල්ලීම කළා. මා කිව්වෙ එහෙම කරලා වැරැද්දක් තියනවා නම් කොල්ලව හිරේ දාන්න, නැතිනම් නිදහස් කරන්න කියන එක.“
“ඒ කතාව කිව්වට පස්සේ මට නිර්ණාමික ලියුමක් ආවා. ලියුම ලියලා තියෙන්නේ පළමු වෙනිදා. කුරුණෑගලින් තැපැල් කරලා තියෙන්නේ. මගෙ නමට ආපු ඒ ලිපියේ තමයි මටත් වසන්තටත් මරණ තර්ජන එල්ල කරලා තිබුණේ. “
“ ඒ ලියුමෙ ලියලා තිබුණා ගෙදර ආවට පස්සේ පෙති පෙති ගහනවා කියලා. ගිනි තියලා අලු කරනවා කියලා. සිංහල මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගනගෙන රට හදන්න එනවා කියලා. තව කියලා තිබුණා මේ රට අයිති අපිට. තොපි දකුණු ඉන්දියාවෙන් ආපු කල්ලතෝනි කියලා.“
ඒ ලියුමෙ මට කියලා තිබුණා අපේ කණ්ඩායමත් අරන් දකුණු ඉන්දියාවට යන්න කියලා. මටත් මරණ තර්ජන කරලා තිබුණා. පරුෂ වචනවලින් බැනලා තිබුණා. මාව මගෙ පොරවෙන්ම කපලා මරනවා කියලා තිබුණා.
මා හිතන්නෙ ඉතිහාසය දන්නෙ නැති කෙනෙක් වෙන්න ඇති මේ ලියුම ලියලා එවලා තියෙන්නේ.
මා ඉල්ලන්නෙ මේ ලියුම ගැන පරීක්ෂා කරලා බලන්න කියලා. මා ජන වර්ගයක නායකයෙක්. මා මගෙ පරම්පරාවේ දඹානෙ ජීවත්වෙන තරුණයෙකුට අසාධාරණයක් වෙන වග දකිනවා නම් ඔහු ගැන කතා කරනවා. අසාධාරණයට ලක් වෙන්නෙ මේ රටේ මොන දරුවෙක් ද ඒ ගැන නායකයෙක් විදිහට මගේ මතය කියන්න මට අයිතියක් තියනවා.
“මට මෙහම තර්ජනයක් කළාට පසසේ ඒ ගැන පරීක්ෂා කරන්න මේ රට පාලනය කරන නායකයෝ කටයුතු කරන්න ඕන. මා ජනාධිපති තුමාගෙන් සහ අගමැති තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. “
වන්නිලා ඇත්තෝ කීහ.