හමුදාව සහ පොලිසිය යොදවා මේ වනවිට ඉන්ධන සැපයුම යථාවත් කිරීමට රජය ගෙන යන වැඩපිළවෙළ හමුවේ අද (29) සවස් වනවිට රටේ ඇති වී තිබෙන ඉන්ධන හිඟය මගහැරෙනු ඇතැයි ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කපිල නාඔටුන්න ලංකාසර කළ විමසීමක දී පැවසුවේය.
ඉන්ධන ප්රවාහන පුද්ගලික ටැංකිරථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ මේ වනවිට ඉන්ධන පුරවාගත් රථ විශාල ප්රමාණයක් කොලොන්නාවෙන් පිටත් වී ඇති බවය.
පොලිසියෙන් නිවෙස් වෙත ගොස් වර්ජිත සේවයින් බලහත්කාරයෙන් ගෙන්වා අද උදේ හයේ සිට ඉන්ධන පිරවීම් ආරම්භ කර ඇති බවත් උදේ 9 පමණ වනවිට කොලොන්නාව සහ මුතුරාජවෙල නවත්වා තිබූ බවුසර 100කට පමණ ඉන්ධන පුරවා පිටත් කර ඇති බවත් කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ ආරංචි මාර්ග පවසයි.
උදේ 5.30 පමණ වනවිට මෙම හමුදා පොලිස් මෙහෙයුම හරහා සේවකයින් ඉන්ධන ගබඩා පර්යන්තය වෙත රැගෙනවිත් උදේ 6 වනවිට ඉන්ධන පිරවීම් කටයුතු ආරම්භ වී තිබේ.
මේ පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ පොදු සේවක සංගමයේ සභාපති, ආචාර්ය අශෝක රන්වලගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මේ වනවිට හමුදා සහ පොලිස් බලය යොදවා සේවයෙන් ඉවත් වූ සේවකයින් බලහත්කාරයෙන් ගෙන්වාගෙන ඉන්ධන පිරවීම් කටයුතු සිදුකරනු ලැබුව ද වෘත්තීය ක්රියාමාර්ගයක් ලෙස ඊයේ දියත් කළ වර්ජනය සාර්ථක බවය.
අද වනවිට තමන් ඇතුළු වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යැවීම සඳහා කළමණාකාරිත්වය ගෙන ඇති තීන්දුව තවම ලිඛිතව ලැබී නැති බව ද අශෝක රන්වල පැවසුවේය.
අඛණ්ඩව වෘත්තීය සමිති ක්රියාමාර්ගය දියත් වී ඇති බව ඔහු වැඩිදුරටත් කීවේය.