ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නොතිබූ බවත් රාජපක්ෂලාට විසි වැනි සංශෝධනයෙන් ගොඩ යන්නට හැකි වුණේ සජිත් ප්‍රේමදාසගේ, රවුෆ් හකීම්ගේ සහ රිෂ්ඩ් බදූර්දීන්ගේ කණ්ඩායමෙන් සහය ලැබුණු නිසා බවත් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ ඡන්ද අට නොලැබුණා නම් ආණ්ඩුවට විසි වැනි සංශෝධනය තුනෙන් දෙකකින් සම්මත කර ගැනීමට නොහැකි වන බවද ඔහු පැවසීය.
20 වැනි සංශෝධනයට ආණ්ඩුවට ලැබුණු ඡන්ද ප්‍රමාණය 148ක් බවත් සජිත්ලාට හකීම්ලාට තමන්ගේ ඡන්ද රැකගැනීමට හැකියාවක් තිබුණා නම් රාජපක්ෂවරුන්ට මෙම සංශෝධනය සම්මත කරගැනීමට කිසිදු හැකියාවක් නොලැබෙන බවද විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය.
සමගි ජන බලවේගයේ නායකයින්ට මෙම මන්ත්‍රීවරුන්ගේ ඡන්ද වළක්වාගැනීමට හැකියාවක් නොතිබූ නිසා රට ඒකාධිපතිත්වය කරා තල්ලු වීමඩ ඉඩක් ලැබුණු බව ඔහු එහිදී සඳහන් කළේය.
එහිදී විජිත හේරත් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ අන්තවාදීන්ට යටවන්නේ නැති තනි සිංහලයන්ගේ ආණ්ඩුවක් හදාගැනීම සඳහා තමන්ට බලය දෙන ලෙස පසුගියදා මැතිවරණයේදී ජනතාව ඉදිරියට ගොස් පාරම් බෑව රාජපක්ෂවරු ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්වය ජාතිවාදය පාවිච්චි කරමින් වඳ කොත්තු, වඳ පෙති, වඳ සැත්කම් වැනි දෑ පාවිච්චි කළ බවද පෙන්වා දුන්නේය.
ජනතාව දිනාගැනීම ජාතිවාදය වැපිරූ රාජපක්ෂවරු බොරු කියමින් ජාතීන් අතර අසමගිය පතුරවමින් තම බලය තහවුරු කරගන්නට කටයුතු කළත් අවසානයේ පාර්ලිමේන්තුවේදී ඔවුන් සියලු දෙනා එකතු වූ බවද ඔහු පැවසීය.
එසේම පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දයෙන් ලබාදෙන මන්ත්‍රී ධුර රාජපක්ෂවරුන්ට තුනෙන් දෙක හදාගැනීම සඳහා මුදලට විකිණෙන බව ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ සමයේදී පෙන්වා දුන් බවත් අද ඒ දේ සිදුව ඇති බවද විජිත හේරත් මන්ත්‍රීවරයා පසක් කළේය.