සාකච්ඡා කළේ කීර්ති ප්‍රනාන්දු –
ආදි වාසී නායක වන්නිලා ඇත්තෝ පාර්ලිමේන්තු ප්‍රවේශය සඳහා ජාතික ලයිස්තුවෙන් සිය වරිගයට අවස්ථාවක් ඉල්ලති. එක්වරම ඔහු මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ කුමක් නිසා ද?. ලංකාසර අපි ආදිවාසී නායක වන්නිලා ඇත්තන් විමසුවෙමු. මේ ඔහු අප නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකරයයි.

- ප්‍රශ්නය – ආදිවාසියෙක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න ඕන කියලා ඔබතුමා කිව්වා. මොකද එකපාරටම ඒ වගේ අදහසක් පහළ වුනේ.
පිළිතුර – මම එහෙම කියන්නෙ මේ කාලෙ අපේ රටේ විතරක් නෙමෙයි, මුළු ලෝකයේම තියන ප්‍රශ්නයක් නිසා. මුළු ලෝකයේම ආදිවාසී කණ්ඩායම්වලට සමහර අවස්ථාවලිද වෙනස්කම් සිදුවෙලා තිබෙනවා. ඒත් සමහර රටවල් ආදිවාසීන් පිළිගත් වගකීමක් සහිත කණ්ඩායම් බවට පත් කරලා ඇති අයුරු අපට පෙනෙනවා.
අපේ රටේ ආදිවාසීන්ට ගැටලුවක් ගැන කියන්න තියෙන්නේ සංස්කෘතික අමාත්‍යාංශයට විතරයි. ඒ අමාත්‍යාංශය විශාල වැඩ කොටසක් පැවරිලා තියන අමාත්‍යාංශයක්. අපිට තියන ගැටලු ගැන කිව්වොත් විතරයි ඒ අයට අපි ගැන බලන්න කතා කරන්න පුලුවන් වෙන්නේ.
ආදිවාසීන් මේ වකවානුව වෙනවිට විශාල ගැටලු ගණනාවකට මුහුණ දීලා ඉනනේ. අපේ රටේ ආදිවාසී ප්‍රජාව සංඛ්‍යාත්මකව ලක්ෂ 05ක්. දිස්ත්‍රික් 06ක ගම් ප්‍රදේශ 62ක ආදිවාසී ප්‍රජාව ජීවත් වෙනවා. මේ ගම් ප්‍රදේශ 62 තුළම අපිට විශේෂ වූ විවිධ ප්‍රශ්න ඇතිවෙලා තියනවා. ඒ ප්‍රශ්න ගැන කතා කරන්නේ නායකයෙක් විදිහට මම විතරයි. මා කතා කරන්න ඕන ආණ්ඩුවෙ කවුරුහරි කෙනෙකුටයි. ඒක හරියට වැලක එල්ලිලා යනව වගේ වැඩක්. එහෙම නෙමෙයි වෙන්න ඕන. ප්‍රශ්නයක් කෙලින්ම කතා කරන්න තැනක් අපට තියෙන්න ඕන. අපේ කෙනෙක් බලයක් සහිතව ඉන්න ඕන. ඒ හින්දා තමයි මම යෝජනා කළේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා ආදිවාසී නියෝජිතයෙකුට ඉඩක් දෙන්න කියලා.
- ප්‍රශ්නය – අපි හිතමු දැන් ඒ අවස්ථාව ලැබිලා තියනවා කියලා. කවුද ඔබ යෝජනා කරන නියෝජිතයා… කොහොම ද ඔබතුමා පාර්ලිමේන්තු නියෝජනයක් සඳහ කෙනෙක් ඔබේ ප්‍රජාවෙන් තෝරා ගන්නෙ.
පිළිතුර – ඒක කරන්න පුලුවන් දෙයක්. ඉහළට ඉගෙන ගත්තු උපාධි ලබාගත්තු ආදිවාසී ජන්මයක් සහිත අය ඉන්නවා. අපි පාර්ලිමේන්තු ඡන්දයක් සඳහා ඉදිරිපත් වෙන්න අදහසක් නෑ. ජාතික ලයිස්තුවෙන් ඒ අවස්ථාව දෙන්න කියන යෝජනාවයි අපට තියෙන්නේ. අපට ඒ අවස්ථාව ලැබුණොත් ඒක රටේ දේශපාලනයෙත් දියුණු වෙනසක් වේවි.
- ප්‍රශ්නය – ඔබතුමා මේ වසන්ත මුදලිගේ ගැන ඔළුවෙ තියාගෙන ද කතා කරන්නෙ. ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන්න හදන්නෙ ඔහු ද?.
පිළිතුර – අනේ නෑ… එහෙම කෙනෙක් ගැන අපි තවම හිතලා නෑ. ඒක කාලය ආවට පස්සේ හොඳට හිතලා බලලා ගන්න ඕන තීරණයක්.
- ප්‍රශ්නය – ආදිවාසී නායකයා ලෙස ඔබතුමා ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීකමක් ගන්න හිතාගෙන ඉන්නව වගේ..
පිළිතුර – මොන ලයිස්තුවෙන් ලැබුණත් මම නම් පාර්ලිමේන්තුවට යන්නෙ නෑ.
- ප්‍රශ්නය – පාර්ලිමේන්තුවෙ මේ වනවිට ඉතාම සංකිර්ණ තැනක්. හොරු වංචාකාරයො දූෂිතයො සහිත ස්ථානයක් කියලා තමයි පාර්ලිමේන්තුව ගැන සමාජයේ අදහස තියෙන්නෙ. ඔබ ආදිවාසී නියෝජනයක් යවන්න හදන්නෙ ඒ වගේ තැනකට.
පිළිතුර – පාර්ලිමේන්තුව දූෂණය වංචාව පිරුණු තැනක් කියලා හැමෝම කියනවා තමයි. ඒත් එහෙම නොවන අයත් පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. අනික මේ වගේ අවස්ථාවක තමයි ආදිවාසියෙක් පාර්ලිමේන්තුවට යා යුත්තේ. ඔහු පුලුවන් වේවි හොඳ ආදර්ශයක් දෙන්න රටට
- ප්‍රශ්නය – ඔබතුමාගෙ ප්‍රජාව දේශපාලකයින් විසින් ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් පාවිච්චි කළ පිරිසක්. ඔබගේ සංස්කෘතික අයිතියත් පැවති ආණ්ඩුවලින් අවහිර කළා. මේ තත්ත්වය තුළ මේ දේශපාලනයට ක්‍රියාකාරිව දායක වෙලා ආදිවාසීන්ගේ ප්‍රශ්නවලට සැබෑ පිළිතුරු ලබා ගන්න පුලුවන් ද?
පිළිතුර – ඔබ කියන කතාව ඇත්ත. 83 ඉඳලම අපේ සංස්කෘතික උරුමය අහිමි වීමේ අසාධාරණය සිද්ධ වුනා. අපිට තිබුණ සංස්කෘතික පරිසරය, නිදහස, කැලය අපට අහිමි කළා. ඒ නිසාම තමයි අපේ ආදිවාසී ප්‍රජාවෙන් කෙනෙක් පාර්ලිමේන්තුවට යන්න ඕන කියන ස්ථාවරයෙ අපි ඉන්නෙ.
අපේ තාත්තා නැති උනාට පස්සේ මම ආදිවාසී නායකයා හැටියට අපේ ආදිවාසී ගම් ප්‍රදේශ එකතු කරගෙන සාකච්ඡා කළා. තියෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කළා. ආණ්ඩුවට ඒ තත්ත්වය කිව්වා.
අපේ තාත්තා සටන් කළේ ආදිවාසීන්ට කලෑවේ උරුමය ආරක්ෂා කරගන්න. ඒ සටනට හිටියෙ තාත්තා විතරයි. අනෙක් ආදිවාසී කණ්ඩායම් එකතු වුනේ නෑ.
මම නායකයා උනාට පස්සේ දිස්ත්‍රික්ක හයටම ගිහින් අපේ අයට කතා කළා. වරිග සභාව කැඳවලා ගැටලු සාකච්ඡා කෙරුවා. එහෙම කරලා ගත්ත තීරණ තමයි මම ආණ්ඩුවෙ ඇත්තන්ට ඉදිරිපත් කළේ.
පාර්ලිමේන්තුව කියන්නෙ නීති හදන තැන. එහෙම තැනක අපේ කෙනෙක් ඉන්නවා නම් අපට බලපාන ප්‍රශ්නවලට විසඳුම් නීතියක් හැටියට ගෙනත් වැඩ කරන්න.
අපට තියනවා කැලෑවට යන්න ගිවිසුමක්. නමුත් ඒ ගිවිසුම පාර්ලිමේන්තුවෙ සාකච්ඡා කරලා පනතකින් සම්මත කරලා ක්‍රියාත්මක කරන ගිවිසුමක් නෙමෙයි. අපිට අපේ කෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්න අවශ්‍ය මේ තත්ත්වයන් ගැන කතා කරන්න අවශ්‍ය නිසා.
- ප්‍රශ්නය – මේ තියන පාර්ලිමේන්තුව ඇතුළට ආදිවාසී අයෙක් මන්ත්‍රීවරයෙක් ජාතික ලයිස්තුවෙන් ගියොත් ඔහුත් මේ දේශපාලනය ඇතුළෙ පඹයෙක් වෙනවා නේද. ඔහු තනතුරුවලට සල්ලිවලට යටවෙන්නෙ නෑ කියන සහතිකය ඔබට දෙන්න පුලුවන් ද?
පිළිතුර – ලෝබකම, තන්හාව, ආශාව, තියාගෙන ගියොත් එහෙම වෙයි. හැබැයි රට ගැන තමන්ගෙ වරිගය ගැන ජනතාව ගැන හිතන කෙනෙක් පඹයෙක් වෙන්නෙ නෑ කිසිම තැනක.
- ප්‍රශ්නය – පාර්ලිමේන්තුවට යැවීම සඳහා එහෙම කෙනෙක් ආදිවාසී ප්‍රජාව අතරින් ඔබට හොයාගන්න පුලුවන් වේවි ද?.
පිළිතුර- ඔව්… එහෙම අය ආදිවාසීන් අතර ඉන්නවා.එහෙම කෙනෙක් තමයි අපි මේ අවස්ථාවට යෝජනා කරන්නෙ. මුලින් කීවා වගේ ඔහු පාර්ලිමේන්තුවටම ආදර්ශයක් දේවි.







