වකුගඩු රෝගය ඉස්මතු කරමින් ආරම්භ කළ කාබනික වැඩපිළිවෙළ නිසා අවසානයේ ආමාශය රෝගී කර ගැනීමට සිදුවූ බවත් විද්‍යාවට පෙර කළමනාකරණය සිදුවූයේ නම් වකුගඩු මෙන්ම ආමාශයද රැකගෙන ගැටලු අවම කර ගනිමින් මෙම ගමන සාර්ථක වූ යාමට හැකිව තිබූ බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පවසයි.
සෞභාග්‍යයේ දැක්මට අනුව කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීමට යම් නිශ්චිත කාලසීමාවක් ප්‍රකාශකර තිබුණද උපදේශකයින් යැයි කියා ගන්නා ඇතැම් පුද්ගලයින්ගේ අනිසි ඉක්මන් කිරීම් හමුවේ එම වැඩ පිළිවෙළ අර්බුදකාරී තත්ත්වයකට පත් වූ බව ද හෙතෙම කීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගන්නෝරුව පැළෑටි ජාන මධ්‍යස්ථානයේ අද (21) දින පැවැති වැඩ සටහනකින් පසු ඔහු හමුවේ මේ බව ප්‍රකාශ කළේය.
නිසි ක්‍රමවේදයට අනුව නියමිත කාල සීමාවකින් ක්‍රියාත්මක කිරීමට තිබූ මෙම වැඩසටහනට අනවශ්‍ය ආකාරයෙන් මැදිහත්ව කටයුතු කළ උපදේශකයින් කිසිවෙකු හෝ මේ වන විට සොයා ගැනීමට පවා නොහැකි බවද ලේකම්වරයා කීය.







