ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියේ අද පැවති මැලේයිසියා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කෙල්ලන් වාර්තා රැසක් තබමින් දිනුම් ය.
එසේ මෙසේ දිනුමක් නොවේ. දිනුම ලකුනු 114කිනි. කඩුළු 4ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 184 හඹා ගිය මැලේයිසියා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 40ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
එම 144ක වැඩි ලකුණු ප්‍රමාණයකින් ලැබූ ජයග්‍රහණය ලෝක වාර්තාවකි. මින් පෙර විස්සයි 20 තරගයක දී කණ්ඩායමක් ජයග්‍රහණය ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය 109කි. එම වාර්තාව තිබුනේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සතුවය. අද එම වාර්තාව ශ්‍රී ලංකා කෙල්ලෝ බිඳ හෙළූහ.

තවත් වාර්තා
ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරී අතපත්තුගෙන් වාර්තාගත ශතකයකි. ඇය නොදැවී ලකුණු 119කි. ඊයේ හතරේ පහර 14කි. හයේ පහර 7කි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක විස්සයි 20 අන්තර්ජාතික තරගය ඉනිමක දී එල්ල කළ වැඩිම හයේ පහර ප්‍රමාණය එයය. චමරී ලකුණු 119 ලැබුවේ පන්දු 69ක් තුළය.
විස්සයි 20 තරගයක දී ශ්‍රි ලංකා පිතිකාරිනියක විසින් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය එයය. මින් පෙර එම වාර්තාව වූයේ ලකුණු 113කි. එයත් හිමිව තිබුනේ චමරි අතපත්තුට ය.
ඇය හතරේ පහරවලින් රැස්කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 56කි. හයේ පහරවලින් ලැබු ලකුණු සංඛ්‍යාව ලකුණු 42කි. ලකුණු 98ක් හතරේ සහ හයේ පහරවලිනි. කාන්තා අන්තර්ජාතික විස්සයි20 තරගවලදී ඉනිමක හතරේ සහ හයේ පහරවලින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාව ලෙස චමරි සිය වාර්තාවම අද අළුත් කළාය.
ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික විස්සයි20 තරගයක දී 3වැනි කඩුල්ල සඳහා තැබු ඉහළම සම්බන්ධය අද වාර්තා වුනේය. ඒ චමරි අතපත්තු සහ කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී අතර තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන ලකුණු 115ක සම්බන්ධය ය. මින් පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ චමරි අතපත්තු සහ නිලක්ෂි අතරය. එම වාර්තාව ලකුණු 77කි.
තරගය
කාසියේ වාසිය දිනුවේ ශ්‍රි ලංකා කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහරදීම තේරූහ. ආරම්භක පිතිකාරිය මෙන්ම මෙම පසුගිය වකවානුව පුරා කදිම පිතිකරණයක පරිචය පෙන්වූ විශ්මි ගුණරත්න පන්දු හතරකට මුහුණ දී එක් ලකුණක් පමණක් සහිතව දැවී ගියාය.
හර්ෂිතා සමරවික්‍රම ලකුණු 26ක්, අනුෂ්කා සංජීවනී ලකුණු 31ක් ලැබුවාය. විචිත්‍ර පිතිකරණය යළිත් වරක් චමරී අතපත්තුගෙනි. චමරි පන්දු 69ක දී ලකුණු 119ක් නොදැවී ලබාගෙන පේක්ෂාගාරය පිනවනු ලැබුවාය.
පන්දු යැවිමේදි මැලේසිනු කණ්ඩායම වෙනුවෙන් විනිෆ්‍රෙඩ් දුරායිසින්ගම් ලකුණු 34ට කඩුළු 02ක් දවාගත්තාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි මැලේසියානු කණ්ඩායමේ ලකුණු 40කට දැවී ගියේය. වැඩිම ලකුණු සංඛ්‍යාව 10කි. එය රැස් කළේ මැලේසියානු කණ්ඩායමේ එල්සා හන්ටර් ය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රදර්ශනාත්මක වික්‍රමයක් කළහ.
කාව්‍යා කාවින්දි ලකුණු 7කට කඩුළු 02ක්, ෂෂින ගිම්හානි ලකුණු 09කට කඩුළු 03ක්, කවීෂා දිල්හාරි ලකුණු 04කට කඩුළු 2ක්, ඉනෝෂි ප්‍රියදර්ශනී, සචිනි නිසසන්සලා, සහ අමා කාන්චනා එක් කඩුල්ල බැගින් ලැබූහ.







