ශ්‍රියානි විජේසිංහ –
ලෝකයේ සුලභම රෝගය බවට හදුනාගෙන ඇත්තේ දත් දිරායෑමේ රෝගය බවත් මේ වන විට ලෝක ජනගහනයෙන් බිලියන 3.5 ක් දත් දිරායෑමේ රෝගයට ගොඳුරුව ඇති බවත් දන්ත රෝග විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක සඳහන් කර තිබේ.
දත් දිරායෑමේ රෝගයට ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ අදික සීනි භාවිතය, ප්ලෝරයිට් අඩංගු දන්තාලේපයක් භාවිත නොකිරිම හා නිසිලෙස දත් නොමැදීම යන කරුණු තුන යැයිද විශේෂඥවරයා පවසා සිටියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට පුද්ගලයෙක් පාරිභෝජනය කල යුත්තේ සිනි කිලෝ ග්‍රෑම් 10ක් වුවද ලංකාවේ පුද්ගලයෙකු වසරකට සීනි කිලෝග්‍රෑම් 34ක් පරිභෝජනය කරන බව සොයා ගෙන ඇති බවත් මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට වඩා තුන් ගුණයක වැඩිවීමක් යැයිද ඔහු පෙන්වා දී තිබේ. ප්ලෝරයිට් අඩංගු දන්තාලේපයක් භාවිත නොකරන පුද්ගලයින් සියයට 25ක් පමණ සිටින බවත් ඔවුන් යම් යම් දුර්මතයන්ගේ එලඹගෙන සිටීම හේතුවෙන් මෙය ප්‍රතික්ෂේප කරන බවද විශේෂඥවරයා පැවසීය.
නිසිලෙස දත් නොමැදිමද දත් දිරායෑමට ප්‍රධාන හේතුවක් වන අතර දරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් රාත්‍රියට දත් නොමදින බවද කරන ලද සොයාබැලීම් වලදි අනාවරණය වී ඇතැයි ඔහු පෙන්වා දුන් අතර මේ වන විට වැඩිහිටියන්ගෙන් සියයට 50ක් දෙනා විදුමස් රෝගයන්ගෙන් පෙළන බවත් එයටද ප්‍රධාන හේතුව වී ඇත්තේ නිසි ලෙස දත් නොමැදීම යැයිද, පිරිමින් අතර බහුල රෝගයක් වන මුඛ පිලිකාවට සියයට 85 කම හේතුව දුම්කොළ සහ පුවක් මිශ්‍ර බුලත්විට සැපීම බවද පෙන්වා දී තිබේ.
විශේෂඥවරයා මේ අදහස් පළ කලේ ඊයේ (20) දිනයට යෙදී තිබු ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.







