දිනසේන රතුගමගේ –
කොටි සංවිධානය විසින් භූමිතෙල් ලීටර් 33000 ක් සමග මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී ආරක්ෂක අංශ විසින් ගොඩ ගන්නා ලද ඉන්ධන ටැංකියක් මුලතිව් මහේස්ත්‍රාත් ආර්.ස්වර්ණරාජා මහතා විසින් ඊයේ( 3) නිරීක්ෂණය කළේය.

එය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ ඉන්ධන ටැංකිය ආරක්ෂාකාරීව පොලීසියේ තැන්පත් කොට තබන ලෙසයි.
එම ඉන්ධන ටැංකියේ කැපුම් සිදුරු දෙකකින් එහි තිබූ බූමිතෙල් සියල්ල පොලොවට ගලාගෙන ගොස් තිබූ අතර ටැංකියෙන් භූමිතෙල් ගද පමණක් වහනය වෙමින් තිබුණි.
භූමිතෙල් පුරවන ලද එම ටැංකිය දිගින් අඩි 16.3 ක් සහ විශ්කම්භය අඩි 7.9 කින් යුක්ත විය.
පුදුකුඩීඉරිප්පු පොලීසිය පවසන්නේ තවත් මෙවැනිම ඉන්ධන පිර වූ ටැංකි කීපයක් මේ ප්‍රදේශයේ වළ දමා ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවය.
එම තොරතුරු සනාථ වූ පසුව අධිකරණ නියෝගයන් ලබා ගෙන එම ස්ථාන වල කැණීම් සිදු කරන බව පොලිසිය කියයි.
පුදුකුඩීඉරිප්පු පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තව දුරටත් සිදු කරගෙන යයි.







