වර්ෂ 2023 සඳහා ඉදිරිපත් කර ඇති අයවැය ප්‍රකාරව ආර්ථීකය පවත්වා ගැනීම සඳහා දෛනිකව රජය රුපියල් බිලියන 13.6ක් ණය වශයෙන් ලබා ගත යුතු බවත් මෙවැනි තත්ත්වයක් යටතේ රටක ආර්ථිකයක් පවත්වාගත නොහැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.
නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ 2023 සඳහා දෛනික රාජ්‍ය වියදම රුපියල් බිලියන රුපියල් බිලියන 21.59ක් වනවිට දෛනික රාජ්‍ය ආදායම රුපියල් බිලියන 9.47ක් බවය.
රජයේ මධ්‍යම බැංකුව විධිමත් මූල්‍ය කළමනාකරණයක් කිරීමට කටයුතු කළ ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අතිශයින්ම පිරිහුණු එකක් බව පවසන මහාචාර්යවරයා මෙම දෙක එකිනෙකට ගැලපෙන ආස්ථානයකට රැගෙනවිත්, ආදායම් වියදම් අන්තරය අඩු කරගත නොහැකි වුවහොත් රට බිහිසුණු ආර්ථික බිඳ වැටීමකට ලක්වන බවට අනතුරු අඟවයි.
ඔහු ඒ තත්ත්වය නෙත් නිවුස් වෙත පැහැදිලි කරන්නේ මෙසේය.
“දත්ත පිළිබඳ සලකා බලන විට මෙම වසර සඳහා රජයේ දෛනික ලැබීම් බිලියන 5.63ක්. එහෙත් දිනක රජයේ වියදම බිලියන 17.05ක්.
ඒ අනුව රජයට සෑම දිනකම රුපියල් බිලියන 10.5කට ආසන්න මුදලක් ණය අරගෙන ණ්‍ය මත ආර්ථිකය හසුරුවන්න සිද්ධ වුනා.
වර්ෂ 2023 සඳහා යෝජනා කරන අය වැයට අනුව රජයේ දිනක ආදායම රපියල් බිලියන 9.47ක්. එහෙත් රජයේ දිනක වියදම රුපියල් බිලියන 21.59ක්. ඒ අනුව රජයට 2023 වසර සඳහා සෑම දිනකම රුපියල් බිලියන 13.6කට වඩා වැඩි මුදලක් ණය ගෙන එම ණය මත ආර්ථිකය මෙහෙයවීම සිද්ධ වෙනවා.
ලංකාවෙ ආර්ථිකය මේ ආකාරයට ගෙනියන්න බෑ. රජය කළ යතු වන්නේ වාර්ෂිකව රජයේ ගෙවීම් සහ ලැබීම් අතර පරතරය අවම මට්ටමකට ගෙන ඒම සඳහා කටයුතු කිරීම.“
“ අපට පේන මූලික කාරණාව තමයි රජයේ මධ්‍යම බැංකුවේ මූල්‍ය කටයුතු සාධනීය මට්ටමකට ගේන්න උත්සාහ කරන බව. එහෙත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඉතාම දුර්වල තැනක තියෙන්නෙ.“
“එසේ නම් රට නිවැරදි දිසාවකට යොමු කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මෙන්ම මධ්‍යම බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියත් එකිනෙකට ගැලපෙන ආකාරයට මෙහෙයවීමේ අවශ්‍යතාවයක් තියනවා. “
“එහෙම නොවුනොත් ඉහළ උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවෙලා, විනියම අනුපාතයන්ගේ දිගින් දිගටම පිරිහීමක් ඇතිවෙලා වේගයෙන් රටේ ආර්ථිකය කඩා වැටීමේ හැකියාව පවතිනවා. “.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැහැදිලි කළේය