දිනසේන රතුගමගේ –
මුලතිව් කොම්බාවිල් පාසලෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අයදුම්පත් යොමු කළ සිසුවෙකුට පාසලේ පාලන අධිකාරිය විභාගය ලිවීමට අවසර ලබා දිය නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා එම සිසුවාගේ දෙමව්පියන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට 8 දා පැමිණිලි කොට තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මුලතිව් කාර්යාලයට දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ තම පුතා ශිෂ්‍යත්ව විභාගයට අයදුම් පත් යැවීමෙන් පසුව හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා කපාට සැත්කමකට භාජනය කළ බවය.
මේ හේතුව මත දින 42 ක් පාසල් යාමට තම පුතාට නොහැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා පාසලටද ඉදිරිපත් කොට ඇති බවත් දෙමව්පියෝ ප්‍රකාශ කොට සිටිති.
තත්ත්වය එසේ තිබියදී මේ සතියේදී පාසලේ ගුරු මණ්ඩල සාකච්ඡාවකදී තම පුතාට විභාගය ලිවීමට ඉඩ ලබාදිය නොහැකි බව එම සාකච්ඡාවේදී තීරණය කළ නිසා පන්තිභාර ගුරුවරිය සිසුවාගෙන් විභාගයට පෙනී නොසිටින බවට ලිපියකටද අත්සන් ලබා ගෙන ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලේ සදහන් වෙයි.
මෙම සිසුවාගේ වැඩිමහල් සහෝදරිය මීට වසර දෙකකට ඉහතදී මෙම පාසලෙන්ම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 167 ක් ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් අත්කර දුන් අතර මෙවර විභායට මුහුණ දීමට සිටින සිසුවාද මෙතෙක් පාසලෙන් පවත්වන ලද විභාග පෙරහුරු ප්‍රශ්නපත්‍රවලට ලකුණු 70 ඉක්මවා ලකුණු ලබා ගෙන ඇති බවද දෙමව්පියෝ ප්‍රකාශ කරති.
පසුගිය සතියේ පවත්වන ලද පෙරහුරු පරීක්ෂණයකදී ලකුණු 70 කට වඩා අඩුවෙන් ගැනීම මත විදුහලේ බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවත් එය ඉතා අසාධාරණ තීරණයක් බැවින් තම පුතාට මෙවර ශිෂ්‍යත්ව විභාගය ලිවීමට අවසර ලබාදීමට මැදිහත් වන ලෙසත් ඔවුන්ගේ පැමිණිල්ලෙන් ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.
මේ පිළිබදව අදහස් ප්‍රකාශ කරමින් මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරීන් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා යම් අසාධාරණයක් එම සිසුවාට සිදුව ඇත්නම් ඊට මැදිහත් වී විසඳුමක් ලබා දෙන බවයි.







