මනම්පිටිය නිමල් ජයරත්න –
පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව දැනට එම පක්ෂයේ කොට්ඨාස සංවිධායකයෙකු ලෙස කටයුතු කරන අපේක්ෂකයෙකුද සහිත නීල කාස හරක් හොරුන් සිවු දෙනෙක් ලක්ෂ හැටක් පමණ වටිනා මී ගවයින් සොරකම් කිරීමේ චෝදනාව මත ඊයේ (20) අත් අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
පොළොන්නරුව දිවුලාන ප්‍රදේශයේ සිදුවු මෙම හරක් හොරුන් සමග මස් ප්‍රවාහනයට යොදවා ගත‍් වාහන හතරක් ද අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර අප කළ විමසීමකදී සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ගල්ලෑල්ල තඹල ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස්පහත් පනස් පහත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් වසර ගණනාවක සිට පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක ගවයන් සොරකම් කර මස්කරමින් රාත්‍රී කාලයේ බස් රථවල කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන හෝටල් රැසකට ප්‍රවාහනය කළ අයවලුන්ද බවද හෙළි වී ඇති බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
පොළොන්නරුව දිවුලාන ප්‍රදේශයේ පදිංචි අයෙකු පසුගිය 13 ඔහුට අයත් රුපියල් ලක්ෂ හැටක පමණ වටිනා මි ගවයින් සොරකම් කර ඇති බවට පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවත්, ඒ අනුව විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන්, සහ මස් ප්‍රවාහනය කර ඇති බවට සැකකරන වාහන කිහිපයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවත් පරීක්ෂණ පවත්වන කොට්ඨාස විමර්ශනාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර සඳහන් කළේය.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් පරිදි පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශනා අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.සී.ආර්.කේ. ජාගොඩගේ, පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 42229 රංග, පොලිස් සැරයන්, 68973 අතාවුද, පොලිස් සැරයන්, 71750 චින්තක, පොලිස් කොස්තාපල්, 69318 සිල්වා, පොලිස් සැරයන් රියදුරු 75609 සමර මදු යන නිලධාරින් මෙම වැටලීමට එක් විය.