ශ්‍රි ලංකාව පත්ව සිටින ආර්ථික අර්බුදය හමුවේ ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබා දීමට නම් වෙනත් රාජ්‍යයක් ශ්‍රි ලංකාව වෙනුවෙන් ඇප විය යුතු තරමේ පහත් තත්ත්වයට රට වැටී ඇති බවත් ඉතිහාසයේ කිසිදු කාලයක් එවැනි තත්ත්වයකට ශ්‍රි ලංකාව පත් ව නොමැති බවත් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
මේ වනවිටත් එවැනි ණය ආධාර ලබා දීමට නම් වෙනත් රාජ්‍යයක් ශ්‍රි ලංකාව වෙනුවෙන් ඇප විය යුතු බවට ලෝක බැංකුව විසින් දන්වනු ලැබ ඇතැයි පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා මෙවැනි අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සර්ව පාක්ෂික නියෝජිතත්වයෙන් යුතුව ක්‍රියාත්මක විය හැකි අමාත්‍ය මණ්ඩලයක් අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.
ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟත් අගමැතිවරයා සමඟත් පැහැදිළිව විවෘත ව සාකච්ඡා කළ බව ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින ශ්‍රි ලංකාවට ඉදිරි මාස කිහිපය ගෙවා ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා ගැනීම දැඩි අභියේගයක් ව ඇති බවත්, රටේ දේශපාලන ස්ථාවරභාවය සහ මෙතෙක් ඉදිරිපත් කර ඇති ආර්ථික වැඩපිළිවෙළ සහ ප්‍රතිසංස්කරණ පිළිබඳව ලෝකය තුළ විශ්වාසයක් ගොඩ නැගී නොතිබීම බවත් එවැනි ණය ආධාර ලබා ගැනීමට නම් මෙම සර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමු නිසි ලෙස සැකසිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
“ අපි ඉන්න භයානක අර්බුදයේ මුලික වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයා අතේ. මම මෙ ගැන එතුම එක්කත් කතා කළා. අපට මේ වෙලාවේ ඕන මේ අර්බුද හමුවේ ක්‍රියාත්මක වන සර්ව පාක්ෂිත නියෝජිතත්වයෙන් යුතු ක්‍රයිසිස් කැබිනට් එකක්. නමුත් අද එහෙම එකක් නෑ. අනෙක මේ හැදෙන කැබිනට් එකට නිශ්චිත දින වකවානු සහිත නිශ්චිත වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මේ වනවිට රට තුළ ආර්ථිකයට සහ දේශපාලන ස්ථාවරත්වයට අදාළ ප්‍රතිසංස්කරණ ගණනාවක් තිබෙනවා. මේ සඳහා සැලසුමක් අවශ්‍යයි. එය ක්‍රියාත්මක වුණොත් තමයි ලෝකය එය පිළිගන්නේ. එවැනි පසුබිමක් ජනාධිපතිවරයා විසින් නිර්මාණය කරන්නේ නම් මා මුදල් අමාත්‍ය ධුරයේ වගකීම ගන්නට පවා සූදානම්. එහෙම නැතිනම් අගමැතිතුමා ප්‍රකාශ කළ ආකාරයට ඉතා සැලසුම් සහගතව මුදල් බලය ඇතුලු වගකීම් පාර්ලිමේන්තුවටද වැඩි බලයක් එන ආකාරයට එය සකස් විය යුතුයි. ඒ නිසයි මම මුදල් කාරක සභාවේ සභාපති ධුරය අරගෙන මෙම කටයුතු සඳහා දායක වෙන්න කැමති වුණේ.“
මේ මොහොතේ රටේ ආර්ථිකය පත්ව ඇති අර්බුදය හමුවේ ප්‍රථමාධාර ලබා දීමෙන් එය බේරා ගත නොහැකි බවත් බරපතල ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුවිය යුතු බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.