දිනසේන රතුගමගේ –
අතරමං වී මුලතිව් මුහුදේදී බේරාගන්නා ලද රෝහින්ග්‍යා සරණාගතයින් පිරිස මේ රටින් පිටත් කොට නොයැවීමට පියවර ගන්නා ලෙස වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුයුදීන් ජනාධිපති අනුරකුමාර දිසානායක ගෙන් ඊයේ (7 ) ලිඛිත ඉල්ලීමක් කොට තිබේ.
ජනාධිපතිවරයාට ලිපියක් යවමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට ඇත්තේ මියන්මාරය තුළ යුද ගැටුම් උග්‍ර වීම නිසා නිරායුධව පැමිණි මේ පිරිසට රජයක් වශයෙන් සහන සලසනවා මිස ඔවුන්ව ආපසු යැවීම සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවන බවයි.
ශ්‍රි ලංකාවේ උතුරු නැගෙනහිර යුද්ධය පැවති කාල වකවානුවේදී සරණාගතයින් බවට පත් වූ විශාල පිරිසකට ලෝකයේ රටවල් උදව් උපකාර කළේ මානුෂීය ගුණාංග පදනම් කරගෙන නිසා ශ්‍රි ලංකාවද මේ අවස්ථාවේදී ජාත්‍යන්තරයට තම හිතෛෂීභාවය පෙන්නුම් කළ යුතුව ඇතැයිද ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ සඳහන් කොට ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා මියන්මාරයේ වැසියන් මුහුණ දී සිටින තත්ත්වය පැහැදිලිව හඳුණාගෙන සරණාගතයින් පිළිබදව වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට ඒ පිළිබඳව නිරන්තරයෙන් අවධානය දක්වන ලෙස දැණුම් දී ඇති නිසා ශ්‍රි ලංකාවද මේ අවස්ථාවේදී රෝහින්ග්‍යා සරණාගතයින්ට පිහිට විය යුතු බව රිෂාර්ඩ් මන්ත්‍රීවරයා අවධාරණය කොට සිටියි.
සරණාගතයින් පිළිබඳ ජාත්‍යන්තර නීති සහ සම්මුතීන්ට අනුකූල වන බව ශ්‍රී ලංකාවද සහතික කළ යුතුව ඇති බවත් සරණාගත පුද්ගලයන්ගේ ජීවිතවලට හෝ නිදහසට තර්ජන වන ආකාරයට අප හැසිරිය යුතු නැති බවත් එම ලිපියේ සදහන් කොට ඇත.








