ශ්‍රියානි විජේසිංහ –
අසරණ රෝගීන්ගේ මුදල් සහ ස්වර්ණාභරණ කොල්ල කෑමට සංවිධානාත්මක සොරු කණ්ඩායමක් රෝහල් තුළට ඇතුළු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කණ්ඩායම කාන්තාවන්ගෙන් සහ පිරිමින්ගෙන් සමන්විතවන අතර මොවුන් විවිධ ස්වරූපයෙන් මෙම කොල්ලාකෑමේ නිරත වන බව ලංකාසර කළ විමසුමකදී රෝහල් අධ්‍යක්ෂවරු කීපදෙනෙකුම සඳහන් කළහ.
ඇතැම් අවස්ථාවන් වලදී කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ නිලඇදුමට සමාන ඇදුමකින් සැරසී වාට්ටු තුළට ඇතුළු වී රෝගීන්ව ස්කෑන් පරික්ෂාවන්ට රැගෙනයාමට අවශ්‍ය බව පවසමින් ඔවුන්ගේ කණකර බඩු ගලවා දෙන ලෙසත් එසේ ලබාගත් ඔවුන් රෝගියාව ස්කෑන් පරික්ෂණාගාර දොරකට තබා පිට ගිය අවස්ථාවන් පවා වාර්තා වී ඇති බවත් අධ්‍යක්ෂවරු පැවසුහ.
කනකර පැළඳ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට සමීප වී ඔවුන් සමග කුළුපගු වී ටිකවේලාවක් ගියපසු කුමක් හෝ කෑමට හෝ බීමට දෙන බවත් ඉන් අනතුරුව රෝගියා සිහිසුන් වන අතර ඔහු සමීපයේ සිටි නාදුනන තැනැත්තිය හෝ තැනැත්තා රෝගියාගේ කණකර හා මුදල් පසුම්බිය රැගෙන පළායන බවත් මෙවැනි සිදුවීම් ගණනාවක්ම වාර්තා වී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරු පැවසූහ.
මේ නිසා රෝහල්වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගින් ඉතා කල්පනාකාරි වන්නැයිද වටිනා බඩු භාණ්ඩ පැළඳ හෝ වටිනාකියන දෑ රැගෙන නොපැමිණෙන්නැයිද ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.







