රජයේ රෝහල්වලින් නිකුත් කරන බෙහෙත් වට්ටෝරු සඳහා ඔසුසල අලෙවිසැල් හරහා නොමිලේ ඖෂධ නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (11) ප්‍රකාශ කළේය.
රජයේ හෙද නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩවර්ජන හේතුවෙන් රෝහල්වල ඖෂධ නිකුත් කිරීම නැවතී ඇති නිසා ඔසුසල අලෙවිසැල් හරහා නොමිලේ ඖෂධ නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය පවත්වාගෙන යෑම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (10) නිකුත්කළ වාරණ නියෝග දෙක නොසලකා ඔවුන් මේ වනවිටත් වර්ජනයේ නියැලෙමින් සිටී.
මෙම වාරණ නියෝගය නිකුත් කර ඇතත් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නොමැති බවයි.
එම සංගමය වැඩිදුරටත් පැවසුවේ, අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, එම වාරණ නියෝගය පිළිබඳව දැනුම් දෙන්නේ නම්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට නීතිමය සහය පතන බවත්ය.







