රුසියා – යුකරේන යුද්ධය නවත්වා සාමය සඳහා මාවතක් විවර කරගැනීමේ අභිලාෂය සහිතව අද (15) ලෝක නායකයින් රැස්වන ස්විස්ටර්ලන්ත සමුළුව ප්‍රතික්ෂේප කිරීමට රුසියාව කටයුතු කර තිබේ.
මෙම සමුලුවට එක්වීම කාලය නාස්ති කිරීමක් ලෙස ප්‍රකාශ කර රුසියාව එය ප්‍රතික්ෂේප කරද්දී ලෝක බලවතෙක්වන චීනය ද සමුළුවට නොපැමිණීමට තීරණය කර ඇති බව රොයිටර් වාර්තා කරයි.
මධ්‍යම ස්විට්සර්ලන්තයේ Buergenstock හි පැවැත්වෙන දෙදින රැස්වීමට රටවල් සහ සංවිධාන 100ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමුළුවට එක් වී ඇත. ඇමරිකානු ජනාධිපති ජෝ බිඩෙන් ඔහු වෙනුවට උප ජනාධිපති කමලා හැරිස් සමුළුවට එක් කර තිබේ. සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඔහුගේ විදේශ අමාත්‍යවරයා විසින් නියෝජනය කරනු ලබන අතර ඉන්දියාව පහළ මට්ටමේ දූත පිරිසක් යවා ඇත.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ යුක්රේනයේ මිත්‍ර පාක්ෂිකයින් දුසිම් ගණනක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වෙද්දි සමුළුවට එක්වීම රුසියාව මෙන්ම චීනය ද ප්රතික්ෂේ කිරීම රුසියාව ගෝලිය වශයෙන් හුදකලා වී ඇතැයි වූ බටහිර බලාපොරොත්තුව සුන් කළ ආකාරය පෙනී ගොස් ඇති බවය.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ ඇති වූ යුද්ධය නිසා යුක්රේනය දෙසට ද ලෝකයේ අවධානය යොමු වන්නේ ඊශ්‍රයාලය මෙන්ම යුක්රේනය ද බටහිර ලෝකයේ ආශීර්වාද සහිතව යුද වදිමින් සිටින නිසාය.
යුක්රේන යුද්ධය නිසා ඇවිලුන ආහාර අර්බුදය, න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ව්‍යාකූල තත්ත්වය, නාවික ගමනා ගමන නිදහස වැනි පුළුල් උත්සුකයන් පිළිබඳ සාකච්ඡාවේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වී ඇතැයි වාර්තා වේ. මෙම ලෝක නායක හමුවේ අවසාන ප්රකාශනයේ දැනට සැලසුම් කළ දළ කෙටුම්පතක යුක්රේන යුද්ධයේ ආක්රමණිකයා ලෙස රුසියාව නම් කර ඇති බවට විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර ඇත.