කීර්ති ප්‍රනාන්දු –
රුපියල් 13000කට අලෙවි කළ හැකි කිලෝ 50ක පිටි මිටිය රුපියල් 21000 සිට 25000 දක්වා මිලකට අලෙවි කරමින් පිටි මාෆියාවක් නිර්මාණය කර ඇති පිටකොටුවේ පිටි ආනයන කරුවන් මේ දැඩි අර්බුදය අවස්ථාවේ දී අසාධාරණ අන්දමින් උපයන මුදලට යහපතක් නොවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එස්.කේ. ජයවර්ධන පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ ප්‍රධාන පිටි නිශ්පාදන සමාගම් දෙක ඩොලර් අර්බුදයත් සමග නිශ්පාදනය අඩකින් අඩු කිරීමෙන් පසු පිටි වෙළඳපලට පැමිණි පිටකොටුවේ ප්‍රධාන ව්‍යාපාරිකයින් මේ ආකාරයෙන් කරන බිහිසුණු සූරාකෑම නිසා ගම්බද කුඩා පරිමාණ බේකරි 2000ක් පමණ වැසී ගොස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහ මගට වැටී ඇති බවය.
මහ මගට ඇද වැටුණු අසරණ මිනිස්සුන්ගේ සාපය මේ අසාධාරණ කළු කඩ වෙළෙන්දට වදින බව ද සභාපතිවරයා කීවේය.
“ පිටි සමාගම් දෙක අඩපණ වීමත් සමග ඇතිවෙලා තියන අඩුව පුරවන්න පිටි ආනයනය කරන පිටකොටුවෙ තොග වෙළෙන්දන් මේ වනවිට තුර්කියෙන්, ඩුබායිවලින් පිටි ගෙන්වනවා. ඉන්දියාව පිටි අපනයනය නැවැත්වීමත් එක්ක තමයි මේ වෙළෙන්දො තුර්කිය වගේ රටවලට යොමු වුනේ. මේ අය පිටි ගෙනත් විකුණන්නෙ දෙගුණයකට ආසන්න ලාබයක් එක්ක. උපරිම 13000ට විකුණන්න පුලුවන් පිටි කිලෝ 50 මිටිය තමයි රුපියල් 21000ට 2500ට විකුණන්නේ. අනික මේ විශාල මිල ගණන්වලට විකුණන පිටි අපේ පුරුදු අහාර ප්‍රමිතියටත් වඩා වෙනස්. “
“පොඩ්ක් හිතන්න. රුපියල් 44.50 ට තිබ්බ පිටි කිලෝ එක 420ක්. කොහොමද මේ කර්මාන්තය කරන්නෙ. ඒක තමයි මම කිව්වෙ පාන් ගෙඩිය රුපියල් 300ක් වේවි කියලා. රුපියල් 300ට පාන් කවුරුත් කන්නෙ නෑ. නමුත් මිලක නැතිව මේ කර්මාන්තය කරන්නත් බෑ. මේ තත්ත්වය එක්ක රට වටෙන්ම මුලින්ම වැහිලා ගියේ ඈත ගම්වල සුලු පරිමාණ බේකරි. ප්‍රධාන ව්‍යාපාරිකයො නෙමෙයි… ඒ අසරණ මිනිස්සුන්ගෙ සාපය මේ පිටි කළුකඩ කාරයින්ට වදිනවා. “ ඔහු කීවේය.
මේ වනවිට ඈත ගම්වල බේකරි කරුවන් අපට කියන්නේ දැන් දරාගත නොහැකි බවය. අඹන්පොල බේකරි හිමියන් කීවේ දැනටමත් තම ගම්මාන අවට බේකරිවල සේවය කළ 500කට වැඩි පිරිසක් මහ මගට වැටී ඇති බවය.
කුඩා බේකරි හිමියන්ට සෘජුවම තිරිඟු පිටි නොලැබීම නිසා මෙසේ අධික මිලකට තිරිඟු පිටි ලබා ගැනීමට සිදුව ඇතැයි කී ඔවුහු රටේ තත්ත්වය මෙය බව කීහ.
අතරමැදියන් නොමැතිව එකවරම බේකරි හිමියන් වෙත පිටි ලැබෙන්නේ නම් රුපියල් දහතුන් දහසක් පමණ මුදලකට පිටි ලබාගත හැකි බව බේකරි හිමියෝ කීහ.