මනම්පිටිය නිමල් ජයරත්න –
මීට වසර දෙකකට ඉහතදී රජයේ අරමුදලින් පොලොන්නරුව, ත්‍රිකුණාමලය, පුත්තලම, යන දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ලබාගත් වී සහල් බවට පත්කිරීමෙන් පසු, ඉන් රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂ 58ක් අතුරුදහන් වී ඇති බව එක්සත් සහල් නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා අද (25) පෙරවරුවේ පොලොන්නරුව ඕනෑගම ප්‍රදේශයේදි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙළිදරව් කළේය.

සංගමයක් ලෙස මේ පිළිබඳ ජනාධිපතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභාවට මෙන්ම පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් යටතේ මානව හිමිකම් කොමිසන් සභාවටත් එම දිසාපතිවරුන් තිදෙනාට එරෙහිව පැමිණිලි කරන බවද මුදිත් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම 2020, 2021 වර්ෂවල අදාල දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ලබාගත් වී තොග පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.
රට තුළ සහල් හිඟයක් පැවති මොහොතක සහල් පිටරටින් ආනයනය කිරීමට සූදානම් වු මොහොතේ රුපියල් 44 සහ 50 ට ලබාගත් වී තොග සහල් බවට පත්කර කිලෝ එකක් රුපියල් 250කට මිල ඉහළ ගිය අවස්ථාවේදී වසර දෙකක් යනතෙක් සහල් කිලෝ ලක්ෂ 58ක් සගවාගෙන හෝ අතුරුදහන් කිරීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරන ලෙසට තමා සියලු සහල් පාරිභෝගික ජනතාව වෙනුවෙන් රජයෙන් ඉල්ලා සිටින බවද මාධ්‍ය සහ සාකච්ඡාවේදී කරුණු අනාවරණය කරමින් මුදිත් පෙරේරා සඳහන් කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් සහල් හිමියන්ගේ සභාපති මුදිත පෙරේරා මෙසේද කීවේය,
අපේ රට මේ තත්ත්වයට පත් කිරිම පිළිබඳ ඉහළ දේශපාලඥයින් පමණක් නොව රටේ ඉහළ නිලධාරීන්ද වගකිව යුතු වෙනවා.
අවසන් වරට දිස්ත්‍රික් ලේකම්වරු වී මිලදී ගෙන තිබෙන්නේ 2021 සැප්තැම්බර් මාසයේ. ඒ දිස්ත්‍රික් ලේකම්වරු ගිය සතියේ මහා භාණ්ඩ භාණ්ඩාගාරයට මුදල් යොමු කරනවා හාල් කිලෝ එකක් රුපියල් අනූහයට නිකුත් කරා කියලා.
අපි අහනව මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාගෙනුත්, රුපියල් අනූහය බැගින්, භාණ්ඩාගාරයට මුදල් පියවු ඔය දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙනුත් අපි අහනව හාල් කිලෝ එකක් රුපියල් අනූහයට ගන්න තිබ්බේ මොන කඩේද කියලා.
මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදුමුදල් වලින් ලබාගත් වී සහල් බවට පත් කරලා වසර දෙකක් තියාගත්තු එක පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු වගකියන්න ඕන. ඒ නිසා අපි වහාම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා, දිසාපතිවරුන් තිදෙනා මේ සහල්වලට කරපු දේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරලා නීතීමය ක්‍රියාමාර්ග ගන්න කියලා.







