ශ්‍රියානි විජේසිංහ
රුධිර හිඟයක් මතුව ඇති බැවින් රුධිරය පරිත්‍යාග කල හැකි සැවොම පහත සදහන් ස්ථානයන් වෙත පැමිණ රුධිර පරිත්‍යාගය ලබාදෙන මෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලිමක් කරයි.
යාපනය, අනුරාධපුර, කුරුණෑගල , රාගම, කඹුරුගමුව, කරාපිටිය, හම්බන්තොට, මහ රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහලද ඇතුළුව ජාතික රුධිර මධ්‍යස්ථානය නාරාහේන්පිට, යන ස්ථානයන් වෙත පැමිණ රුධිර පරිත්‍යාගයන් ලබා දිය හැකි බව අධ්‍යක්ෂවරයා පවසා සිටියි.
උදේ 8.00 – 4.00 දක්වා මෙම මධ්‍යස්ථානයන් විවෘතව තැබෙන අතර නාරාහේන්පිට ප්‍රධාන රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පමණක් උදෑසන 8.00 – සවස 6.30 දක්වා කාලය තුල විවෘත තබන බවද පැවසේ.
දැනට පවතින අයපහත් කාලගුණික තතත්වය හේතුවෙන් රටේ පවතින ප්‍රධාන රුධිර මධ්‍යස්ථානයන් වලට රුධිරය සපයා ගැනිම සදහා ජංගම සායන සංවිධානය කරන සංවිධායකවරුන්ට ජංගම රුධිර කදවුරු සංවිධානය කිරීමේ /ගැටලු අපහසුතා මතුව තිබෙන බැවින් හා බොහෝ ස්ථානයන් වෙත ළගාවීමේ අපහසුතා මතුව තිබෙන බැවින් මෙම ගැටලුව මතුව ඇතැයි හෙතෙම පවසයි.
ජාතික රුධිර පාරවිලයන සේවා පද්ධතිය පවත්වාගෙන යාම සඳහා දවසකට රුධිර ඒකක 1400 -1500 අතර ප්‍රමාණයක් අවශ්‍යය වන අතර එයින් සියට 85ට වැඩි ප්‍රමාණයක් ලැබෙනුයේ ජංගම රුධිර කඳවුරුවලින් යැයිද වෛද්‍ය එදිරිසිංහ මහතා පෙන්වාදේ
රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට රුධිර ඒකක 1800ක් පමණ එකතු කර ගැනීමට අදහස් කල නමුත් අපිට ඊයේ (28) දිනයේදී එකතු කර ගැනීමට හැකි වුනේ රුධිර ඒකක 236ක් පමණක් යැයි අධ්‍යක්ෂවරයා පවසා සිටියි.
ජාතික රුධිර පද්ධතියට වැඩිපුරම රුධිර ඒකක ප්‍රමාණයක් ලැබෙනුයේ සති අන්තයේදී වුවද අද (29) දිවා කාලය වන විට පරිත්‍යාගයන් ලෙස ලැබී ඇත්තේ රුධිර ඒකක 350 – 400ක් පමණක් යැයි හෙතෙම පෙන්වාදේ.
මේ තත්වය තුල ඉදිරියේදී රුධිර සංචිත පවත්වාගෙන යාමේ අර්බුදයක් ඇතිවිය හැකි බැවින් එම අර්බුදකාරී තත්තවය මගහරවා ගැනීමට හැකි පමණ රුධිර පරිත්‍යාගයන් ලබා දෙන මෙන් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව අධ්‍යක්ෂවරයා පවසා සිටියි.







