පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍යවරයකුව සිටි සමයේදී විසූ ඇමති නිල නිවසේදී ඔවුන්ගේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තරුණියක දූෂණය වීමේ සිද්ධියක් සම්බන්ධව ඔහුගේ බිරිඳගේ සහෝදරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය දැරියගේ් සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණ කණ්ඩායම්වල විමර්ශනවලට අනුව ඊට පරිබාහිර සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමත් සමගයි.
පිළිස්සී මියගිය 16 වියැති දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් ප්‍රකාශ 20ක් සටහන් කරගෙන තිබේ.
මෙහිදී මීට පෙර මෙම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් කාන්තාවන් දෙදෙනකුගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඔවුන් ද රැගෙන විත් ඇත්තේ දැරිය රැගෙන ආ ඩයගම තැරැව්කරු බවට හෙළිවී තිබේ.
ඔවුන් දැන් 32 හා 22 හැවිරිදි කාන්තාවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එහි 22 හැවිරිදි තරුණිය රිෂාද් බදියුදීන් මහතාගේ ඇමති නිල නිවසේ සේවයේ යෙදී සිටියදී දෙවරක් දූෂණයට ලක්ව ඇති බවට ඇය විසින් අනාවරණය කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාගේ මස්සිනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු 34 වියැති පුද්ගලයෙක් වන අතර මෙම සැකකරු පිළිබද විමර්ශනය සිදුකරනු ලබන්නේ 16 වියැති දැරියගේ සිද්ධියට පරිබාහිරව ය.
22 වියැති තරුණියගේ ප්‍රකාශවලට අනුව ඇය දූෂණයට ලක්ව ඇත්තේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයකුව සිටි සමයේදී ඔහුගේ නිල නිවසේදී බැවින් එම නිවසට ද ගොස් විමර්ශන කිරීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.