දැනට අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ( 13) නියම කළේය.
බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියොජ්‍ය අධ්‍යක්ෂ ලෙස රාජකාරි කරන සමයේ රැඳවියෙකුගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය හේමන්ත රණසිංහ අද පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේ දී අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඔහු අත් අඩංගුවට පත් වන්නේ 2024 වර්ෂයේදී, බන්ධනාගාරගත කර සිටි රැඳවියෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව නැවත බන්ධනාගාරයට යොමු නොකර තවදුරටත් රෝහලේ නේවාසිකව රඳවාගෙන ප්‍රතිකාර සිදු කිරීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් පහළොස් ලක්ෂයක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
අත් අඩංගුවට ගත් වෛද්‍යවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම ඔහුව බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. .







