මෙරට හෝටලයක රැකියාවක් හෝ ළමා නිවාසයක සේවිකාවක ලෙස රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ලිංගික වහල් සේවය සඳහා උස්බෙකිස්තානයේ සිට කාන්තාවන් ජාවාරම් කිරීම පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ.
මිනිස් ජාවාරම් පිළිබඳ විමර්ශන කරන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ එලෙස උස්බෙකිස්තානයේ සිට මෙරටට කාන්තාවන් ගණනාවක් ගෙනවිත් ඇති බවයි.
මෙම ජාවාරම තුළ විදේශිකයින් සංචාරකයින් ලෙස හෝ රැකියා වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ලිංගික වහල් සේවය සඳහා යොදවන බව අනාවරණය වී තිබේ.
මෙම ජාවාරමට හසුවූ ඇතැම් උස්බෙකිස්තාන කාන්තාවන් මෙම විමර්ශන සඳහා සහාය නොදැක්වීමට පියවර ගෙන ඇත්තේ විමර්ශනයේ නීතිමය ක්‍රියාවලියේදී විනිශ්චය ලැබෙනතුරු වසර දෙක තුනක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදු වන බැවින් බව කියැවේ.
එමෙන්ම මෙම ජාවාරමෙන් පලායන ඇතැම් කාන්තාවන් බොහෝවිට නවාතැන් හෝ ආරක්ෂක නිවාස පිළිබඳ ගැටලුවලට මුහුණ දී ඇත.
බොහෝ විදේශීය කාන්තාවන් රජයේ නවාතැනක සහාය ලබා ගැනීමට අකමැති බවක් පෙන්වන අතර ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් පෞද්ගලික නවාතැනක් පිළිබඳ වැඩි කැමැත්තක් දක්වන බව ද විමර්ශන නිලධාරීන් අනාවරණය කර තිබේ.
පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එවැනි ස්ථාන සොයාගැනීමේදී ද ඔවුන්ට ගැටලු මතුවී ඇත.
ඇතැම් වින්දිත කාන්තාවන් විමර්ශන අවසන් වන තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට කැමැත්ත පළ කර ඇති නමුත් ඔවුන්ට බලපා ඇති මානසික තත්ත්වය නිසා මනෝවිද්‍යාත්මක උපදේශනය ලබා දීමට සිදුවී ඇති බවද සඳහන් වෙයි.
මෙලෙස විදේශීය කාන්තාවන් ජාවාරම් කරමින් මෙරට ගණිකා සේවයේ යොදවන ඇතැම් ගණිකා මඩම් වෙත නීතිවිරෝධීව වුවද එම කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රභූවරුන්ගේ සහාය ද ලැබෙන බව ඩේලි මිරර් වාර්තා කරයි.
පවතින තත්ත්වය මත, අමෙරිකාවේ පුද්ගල ජාවාරම නිරීක්ෂණය සහ මර්දනය කිරීම සඳහා වූ කාර්යාලය විසින් නිකුත් කරන ලද 2022 පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවට අනුව දැනට නිරීක්ෂණ ලැයිස්තුවේ සිටින ශ්‍රී ලංකාව, මිනිස් ජාවාරමට එරෙහිව ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් පහත හෙලීමට ද ඉඩ ඇති බව සඳහන් ය.