පසුගිය ජනපතිවරණයට සාපේක්ෂව මෙවර මහමැතිවරණයේ දී රාජ්‍ය සම්පත් අවභාවිතය ඉතා අවම මට්ටමක පැවැති බවත් මෙය පැහැදිලි ලෙසම මෙරට දේශපාලන සංස්කෘතියේ සුභවාදී හැරවුම් ලක්ෂයක් පෙන්නුම් කළ මැතිවරණයක් බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක, නීතීඥ තුෂාණි කන්දිල්පාන පවසයි.
මෙවර මහමැතිවරණයේ දී රාජ්‍ය වාහන අවභාවිතය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ආයතනය වෙත ලැබුණේ එක් පැමිණිල්ලක් පමණක් බව ද ඇය කීවාය.
ජනපතිවරණයේ දී ට්‍රාන්ස්පේරන්සි ආයතන වෙත පැමිණිලි 1126 ක් ලැබුණු බවත් ඒ අතරින් පැමිණිලි 650 ක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත් බවත් පැවසූ කන්දිල්පානි මහත්මිය මහජන ක්‍රීඩාංගණ,රජයේ කාර්යාල,ගොඩනැගිලි සහ පාසල් වැනි පොදු පරිශ්‍රයන් අවභාවිතය සම්බන්ධයෙන් පමණක් පැමිණිලි 451 ක් වාර්තා වූ බව ද අවධාරණය කළාය.
මෙවර මහ මැතිවරණයේදී ට්‍රාන්ස්පේරන්සි ආයතන (TISL) මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී රාජ්‍ය සම්පත් අවභාවිතය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දිවයිනම ආවරණය වන පරිදි නිරීක්ෂකයින් 200 දෙනෙකු යොදවා නිරීක්ෂණ කටයුතු සිදුකළ බවත් මහමැතිවරණ කාලසීමාවේ දී පැමිණිලි 1092 ක් ලැබී තිබුණු නමුත් ඉන් පැමිණිලි 889 ක්ම නීති විරෝධී පෝස්ටර්, කටවුට් හා බැනර් පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට අදාළ ඒවා බවත් ඇය පැවසුවාය.
පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව රාජ්‍ය මුදල් හා රජයේ වාහන අවභාවිත වීම සම්බන්ධයෙන් සැලකිය යුතු සාධනීය වෙනසක් නිරීක්ෂණය වූ බව ද කනිදිල්පානි කීවාය. රාජ්‍ය නිලධාරීන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 63 ලැබී තිබුණු බවත් පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව එය සැලකිය යුතු අඩු අගයක් බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරිකවරිය ප්‍රකාශ කළාය.
මැතිවරණ දින ඡන්දදායකයින්ට බලපෑම් කිරීම, නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු, ඡන්ද මිලදී ගැනීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් පැමිණිලි 215 ක් වාර්තා වූ බවත් ඒවායින් බොහොමයක් මැතිවරණ කොමිෂන් සභාව සමග එක්ව කටයුතු කර විසඳා ගත් බවත් ඇය කීවාය.
පවතින සාධනීය තත්ත්වය තව දුරටත් වර්ධනය කර ගැනීම සදහා දේශාපලන අධිකාරියේ මෙන්ම පුරවැසියන්ගේ ද කැපවීම ට්‍රාන්ස්පේරන්සි ආයතනය තව දුරටත් අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය.
මෙය ඡන්ද අයිතියෙහි ඇති වටිනාකම පිළිබඳ ලාංකීය ප්‍රජාවට ඇති අනවබෝධය නිරීක්ෂණය වූ මැතිවරණයක් වූ බවත් ඔවුන් බලගැන්වීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ට්‍රාන්ස්පේරන්සි ආයතනය අවධාරණය කරන බවත් කන්දිල්පානි ප්‍රකාශ කළාය.







