රාජ්‍ය ව්‍යවසායවල උසස් තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීමේදී සහ ඔවුන්ට මාරු ලබා දීමේදී එම පත්වීම් අනුමත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා මුල් වී ඇත්තේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පොදු ජන පෙරමුණු දේශපාලකයන් විසින් සිදු කරන ලද අනවශ්‍ය අතපෙවීම් හේතුවෙන් බව දේශපාලන ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.
භූ විද්‍යා සහ පතල් කැනීම්වලට අදාළ රාජ්‍ය ව්‍යවසායයක් වන ජී.එස්.එම්.බී ටෙක්නිකල් සර්විසස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස තම හිතවත් නිලධාරියකු පත් කරන ලෙස නිර්දේශ කරමින් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් වෙත යවන ලද ලිපියක් ඊට ආසන්නතම හේතුව වී ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පත්වීම සඳහා සිදු කරන ලද දේශපාලන බලපෑම සම්බන්ධයෙන් ඉහළ දේශපාලන තලයේ කතා බහට ලක්ව ඇති අතර තවත් දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු දේශපාලකයන් කිහිප දෙනකු තම හිතවතුන් මෙවැනි ආයතනවලට පත් කිරීම සඳහා සූක්ෂම ලෙස ක්‍රියා කරමින් සිටින බව වාර්තා වී ඇත.
මේ තත්ත්ව සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කළ අතර රාජ්‍ය ව්‍යවසායවල ඉහළ තනතුරු පුරප්පාඩු වීමේදී සහ මාරු ලබා දීමේදී එම කමිටුවේ නිර්දේශය අවශය වී තිබේ.