දෙරණ –
රාගම වෛද්‍ය පිඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 09 දෙනා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වෛද්‍ය පීඨ සිසුන් ඇතුළු සැකකරුවන් 09 දෙනාගෙන් 05 දෙනෙකු බන්ධනාගාර නිළධාරීන් විසින් අද (07) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
කෙසේවෙතත් එක් සැකකරුවෙකු කොවිඩ් ආසාදනයට ලක්ව තිබීම සහ තවත් සැකකරුවෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.
තවත් සැකකරුවන් දෙදෙනෙකු රාගම පොලීසිය අද මහෙස්ත්‍රාත්වරයාගේ නිළ මැදිරියේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර නඩුව අද කැඳවූ අවස්ථාවේ පොලීසිය දැනුම් දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන බොහෝ දුරට අවසන් කර ඇති බවය.
සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේත්‍රාත්වරයා සඳහන් කළේ ඉදිරිපත්ව ඇති බොහෝ චෝදනා සමථ මණ්ඩලයකට යොමුකර සමථයකට පත්විය හැකි චෝදනා බව පෙනී යන බවය.
ඒ අනුව නීතීඥයින් සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු ඉදිරිපත්ව නොමැති බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා කොවිඩ් තත්ත්වය සහ සැකකරුවන් සියලුදෙනා තරුණ වයසේ පසුවන්නන් බව සලකා ඔවුන් දැඩි ඇප කොන්දේසි මත මුදා හරින බව ප්‍රකාශ කර තිබේ.
සැකකරුවන්ට යළි මෙවැනි ආකාරයේ ගැටුම්වලට මැදිහත් නොවන ලෙස තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා එක් සැකකරුවෙකු රුපියල් 5,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළේය.
සැකකරුවන් සියලු දෙනාට විදෙස් ගමන් තහනම් කර ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු කාලයේදී රාගම පොලිසීයේ පෙනී සිටින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.







