ඇහැලියගොඩ එල්ලාවල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටිය දි දූෂණය වී ඝාතනය වුන පියුමි මාධවිකා ජයසිංහ දියණියගේ ඝාතනය සම්බන්ධව වරදකරු වී අවුරුදු 13ක් තිස්සේ දණ්ඩනයට යටත්ව බරපතල වැඩ සහිතව සිරදඬුවම් විඳිමින් සිට ඇත්තේ නිර්දෝෂී පුද්ගලයෙක් වීම සමාජ ක්‍රියාධරයන්ගේ මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරී අංශවල බරපතල කතාබහට ලක් වී තිබේ.
2009 වසරේ ජුනි 23 වැනිදා පාසල් ඇරී එල්ලාවල පිටකන්ද හරහාය නිවසට පැමිණෙමින් සිටිය දී දූෂණය කර ඝාතනය වූ මෙම දියණියගේ සිරුර කන්ද පාමුල තිබී සොයා ගන්නේ 2009 වසරේ ජුනි 23 වැනිදා උදෑසනය.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය ලිංගික දූෂණය කර හිසට පහරදී ඝාතනය කර තිබෙන බව හෙළි විය. පොලිසිය මේ ඝාතනයට සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන සාක්ෂි සදා නඩු පවරා උසාවිය හරහා දණ්ඩනයට ලක් කරන්නට කටයුතු කරන්නේ ඇහැළියගොඩ යාය 04 ප්‍රදේශයේ එවකට 25 වියැති තරුණයෙකි.
උපකල්පනයකට අත්අඩංගුවට ගත් ගොපල්ලා
ගාමිණී නැමැති මෙම තරුණයා හරක් සමග ලඳු කැලෑවල ඇවිදින ගොපල්ලෙකි. හරකුන් සමග කැලෑවල සැරිසරන නිසාම මගදී මෙම තරුණිය හමුවී දූෂණය කර මරා දැමී යැයි උපකල්පනය පිට මෙම තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවේය.
පොලිසිය මේ විමර්ශනය සිදුකළ ප්‍රශ්න සහගත ආකාරය බලහත්කාරයෙන් උත්තර සෙවීමක් බව පෙනුණි. ඔවුන් ඉදිරිපත් කළ විද්‍යාත්මක සාක්ෂි දෙකකි. එකක් පියුමිගේ සිරුර ලඟ තිබූ බව කියන කෙස් ගසකි. අනෙක පියුමිගේ රහස් ප්‍රදේශයේ තිබූ ශුක්‍ර තරලය ය.
අපරාධ විමර්ශන නිලධාරීහු මෙම සාක්ෂි බොරැල්ල ජින්ටෙක් ආයතනය වෙත යොමු කර ඩී.එන්.ඒ වාර්තාවක් ලබා ගත්හ. ඩී.එන්.ඒ වාර්තාව අනුව කෙස්ගස ගාමිණීගේය. එහෙත් රහස් ප්‍රදේශයේ තිබූ ශුක්‍ර තරලය ගාමිණගේ නොවේ. මේ කෙස් ගස පියුමි ලඟට පැමිණියේ කෙසේ දැයි කිසිවෙක් තවම දන්නේත් නැත.
ගාමිණි හතර අතේ දිවුරමින් ප්‍රකාශ කළේ තමන් මේ තුච්ඡ ඝාතනයට සම්බන්ධ නැති බවය. ඒ සම්බන්ධව කිසිවක් නොදන්නා බවය.
නල්ලමලේ විද්‍යාත්මක සාක්ෂි නිසා අවුරුදු 13 ක් හිරේ
පරීක්ෂණය නිමා කිරීම සඳහා පොලිසියේ අර්ධ මනුෂ්‍යයින් සාක්ෂි හැදුවාදැයි සිතන්නට පොළඹවමින් කෙස් ගසේ සාක්ෂිය උලුප්පා දක්වා පොලිසිය අධිකරණය ඉදිරියේ ගාමිණී වරදකරු කළේය. වැදගත්ම සාක්ෂිය වන ශුක්‍ර තරලයේ ඩීඑන්ඒ පරීක්ෂාව යට ගියේය.
පොලිසිය ඉදිරිපත් කළ සාක්ෂි අනුව අධිකරණය විසින් පියුමිගේ ඝාතනයට සැකපිට ගාමිණී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඔහුට ඇප නියම වුවත් ඇප දෙන්නට කිසිවෙක් නැති බැවින් ඔහු 13 වසරක් පුරා සිටින්නේ බන්ධනාගාරගතවය.
රත්නපුර කහවත්ත කොටකෙතන දී රෙදි ගලවා ගත් ලංකාවේ පොලිස් අපරාධ විමර්ශකයින්ගේ වෘත්තීය භාවය යළිත් වරක් බරපතල ලෙස ප්‍රශ්න කරන මේ සිද්ධියේ ඇත්ත අපරාධකරු හසුවන්නේ අහම්බෙනි.
2019 වසරේදී ඇහැළියගොඩ දිද්දෙණියේදී වයස අවුරුදු 90 ක කාන්තාවක් ඝාතනය කිරීමේ වරදට ප්‍රේමසිරි සේනාරත්න පුද්ගලයෙක් අත්අඩංගුවට පත් විය. රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අධිකරණ නියෝගයට අනුව ප්‍රේමසිරි කුරුවිට බන්ධනාගාරයට රැගෙන ගියේය. ප්‍රේමසිරිට පියුමි ඝාතන චෝදනාවට බන්ධනාගාරගතව සිටින ගාමිණී එහිදී හමුවන්නේය.
සැබෑ අපරාධකරු හමුවීම
මෙම හමුවීමේ දී නොකළ වරදකට දඬුවම් විඳින ගාමිණී හමුවේ තමන් පියුමි ඝාතනය කළ ආකාරය ප්‍රේමසිරි නැමැත්තා පවසන පූර්ණ විස්තරය මත්ද්‍රව්‍ය වැරැද්දකට බන්ධනාගාරගත වූ තරුණයෙක් අසාගෙන සිටින්නේය. ඔහු මේ සම්බන්ධ ප්‍රවෘත්තිය ඇහැළියගොඩ අපරාධ අංශයේ ස්ථානාධිපති එම්.ජේ. උදයශාන්තට කියන්නේය.
මේ තොරතුර ඔස්සේ දැනට පියුමි ඝාතන වරදට අවුරුදු 13ක් තිස්සේ බන්ධනාගාරගතව සිටින ගාමිණී සමග මෙන්ම මෙම තොරතුරට මුල් වූ ප්‍රේමසිරි සමග කුරුවිට බන්ධනාගාරයට ගොස් මෙම පොලිස් නිලධාරියා කතා කළේය. මේ කතාවේදී ඇති වූ සැකයය මත පදනම්ව ඔහු ප්‍රේමසිරි ඩී.එන්.ඒ පරීක්ෂණයකට යොමු කිරීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලුවේය. ඒ ඉල්ලීම ප්‍රකාරව 2019 වසරේ දෙසැම්බර් 30 වැනිදා අධිකරණ අවසරය සහිතව ප්‍රේමසිරි ඩී.එන්.ඒ. පරීක්ෂණයකට යොමු කරනු ලැබුවේය.
ඩී.එන්.ඒ සැසඳීම
පියුමිගේ සිරුරින් හමුවූ ශුක්‍ර තරලයේ ඩී.එන්.ඒ පරීක්ෂණය සම්බන්ධ වාර්තාව ජින්ටෙක් ආයතනය තුළ සුරැකිව තිබිණි.
ඩී.එන්.ඒ සැසඳීමෙන් කළ පරීක්ෂණ වාර්තාව 2020 වසරේ මැයි මස 18 වැනිදා නිකුත් විය. ප්‍රේමසිරි නැමැත්තාගේ ඩී.එන්.ඒ සම්පල පියුමිගේ සිරුරේ තිබී හමුවූ ශුක්‍ර තරලයේ ඩී.එන්.ඒ සමග මුලුමනින්ම ගැලපිනි. මිනීමරු සල්ලාල ඝාතකයා මෙතෙක් සිරදඬුවම් විඳිමින් සිටි ගාමිණී නොව, මේ ප්‍රේමසිරි නැමැත්තා බව ඔප්පු විය.
පුරා වසර දහතුනක් තිස්සේ පොලිස් කුපාඩිකමක් හේතුවෙන් යැයි සැක කරන පරීක්ෂණ විකෘතියකින් අනතුරුව නිරපරාදේ වසර 13ක් බන්ධනාගාරගත වී සිටියේ නිර්දෝෂී මනුෂ්‍යයෙක් බව විද්‍යාත්මක සාක්ෂි තහවුරු කළේය.
ඒ වනවිට අපාරධකාර ප්‍රේමසිරි ඇප ලබා පිටවී ගොස් තිබිණි. ප්‍රධාන ඇහැළියගොඩ අපරාධ අංශයේ ස්ථානාධිපති එම්.ජේ. උදයශාන්ත ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් දීර්ඝ සොයා බැලීමකින් අනතුරුව ප්‍රේමසිරිව අත්අඩංගුවට ගන්නේ මීට දින කීපයකට පෙරය.
මේ අපරාධය සිදුකළ ආකාරය දැන් ප්‍රේමසිරි පාපොච්ඡාරණය කර ඇත.
කාලකන්ණිකම ඇත්තේ වෙනස් තැනකය. පොලිස් අපරාධ විමර්ශකයින්ගේ වෘත්තීය නොවන නරුමකම මත පුරා වසර 13ක් නොකළ වරදකට බන්ධනාගාරගත වී ඇති ගාමිණි ඇප ගෙවා ගත නොහැකිව තවමත් කුරුවිට බන්ධනාගාරයේය.
පොලිස් කුපාඩිකම්
බලය සහ නීතිය අතට ගෙන කෙරෙන මෙම දුර්දාන්ත පොලිස් කුපාඩිකම් නැවැත්වීම සඳහා මේ රටේ නීතිය බලාත්මක කරන සෑම ආයතනයක්ම සේම පුරවැසි යුක්තිය වෙනුවෙන් රටේ සෑම මිනිසෙක්ම එක්විය යුතු බව විශ්වාස කරමු. මේ අමනකම් ප්‍රශ්න කළ යුතු බව විශ්වාස කරමු.
සේයා සදෙව්මි ඝාතනයේ දී පොලිස් මුග්ධයින් අපරාධකරුවන් නිර්මාණය කළ ආකාරය රට දුටුවේය. පරිගණකයේ බ්ලූ ෆිල්ම්ස් තිබුණු බව කියා පාසල් දරුවෙකු රැගෙන ගොස් ඒ අසරණ දරුවාගේ ජීවිතය විනාශ කළ ආකාරය අපි මුවින් නොබැන බලා සිටියෙමු. එම ඝාතනය සම්බන්ධව කොණ්ඩයා නැමැත්තෙක් කරලියට ගෙනැවිත් ඌ සේයා දූෂණය කළා යැයි කී ආකාරයත් පියවරින් පියවර පොලිසිය කීවේය. අවසානයේ දී සැබෑ ඝාතකයා හමුවනවිට කොණ්ඩයාට ජීවත් වීමට වඩා මරණය යහපත් වී තිබිණි.
කහවත්ත කොටකෙතන දාම ඝාතකයා ලෙස නිර්දෝෂී පුද්ගලයින් ගණනාවක් විටින් විට ඉදිරිපත් කරමින් උන්ව නොමරා මැරූ ආකාරය රට දුටුවේය. දාම ඝාතක අපරාධකරු හසුවී සිටිද්දී එම වරදටම මරණ දඬුවමට යටත් කළ නිර්දෝෂී පුද්ගලයෙක් ගැන ඇසුණේය.
“තෝ දඟලන්න එපා. කඩු පැකට් එකක් දාලා ගන්නවා.“ මේ පොලිස් මැර කතා මේ රටේ ඕනෑතරම් ඇසෙමින් ඇත.
ඕනෑම අපරාධයක් සම්බන්ධව අත්අඩංගුවේ සිටිනා සැකකරුවෙක් ආයුධ පෙන්වන්නට ගොස් පිටපතකට අනුව අවුරුදු ගණනක් තිස්සේ මැරෙන විට හුරේ දමන සමාජයකට කියන්නට ඇත්තේ නීතිය නමන පොලිසියක බිහිසුණුකම පෙන්නේ ඒ අශිෂ්ඨත්වය තමන්ගේ එළිපත්තේ දිගහැරෙන දාට බවය.







