ඉඳුනිල් කහටපිටිය –
රත්තරන් කෙල්ල ගෙදර ආවාය. ඒ ඊයේ (14) පස්වරුවේය. ඇය පිළිගන්නට දැන් උත්සව කරන්නට බොහෝ දෙනා වෙති. ඉතින් ආසියානු රන් පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න ගෙදර එන විටත් ඇය පිළිගන්න මෙතෙක් ඇයට කටු ඇන්න උන්, කකුලෙන් ඇද්ද උන්, රිද්දපු උන්, ඇයට තමන්ගේම දරුවෙක් සේ ආදරය කරන ඇත්තන් සමග මුහු වී උන්හ.
තරුෂිව පිළිගන්න ඇය අධ්‍යාපනය ලබමින් සිටින වලල ඒ රත්නායක විද්‍යාලීය ආදි ක්‍රීඩා සංගමය ප්‍රධාන පිළිගැනීමේ උත්සවය සංවිධානය කළේය. ඒ උත්සවයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේත් ඇවිත් හිටියේය.

මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත්, වලල ඒ රත්නායක විද්‍යාලයේ නිර්මාතෘ, හිටපු පළාත් අධ්‍යාපන ලේකම් පාලිත ඇතුළු පිරිසක් ද එහි වූහ. උත්සවය පැවතියේ කැන්ඩි සිටි සෙන්ටර් එකේය.
දැන් ඇය ගැන වැනුම්ය. ඇයට අතෝරක් තෑගිය. කැන්ඩි සිටි සෙන්ටර් කළමනාකාර අධ්‍යක්ෂ තුසිත් විජයසේන විසින් තරුෂිට රන් මාලයක් තිළිණ කළේය. කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මාධව ජයසිංහ විසින් තරුෂිට ඒ මාලය පිළිගැන්නුවේය. ඒ අතර නුවර ආයතන ගණනක් පොළිමේ පැමිණ ඇයට තෑගි ගොන්නක් දුන්නේය.
උත්සවය නිමා වෙමින් තිබිණි. වියපත් අම්මා කෙනෙක් තරුෂි ලඟට ගියාය. ඇයගේ කන් පෙති දශක ගණනක් සරසා තිබූ රන් කරාබු දෙක සිමින් ගලවා තරුෂි අතට දුන්නාය. අත් දෙකින්ම තරුෂිගේ දෑත් අල්ලා ඇයගේ දෑස් දෙස බලා උන්නාය. තරුෂිගේ නෙත් දිළිසෙමින් තිබිණි.
“ මයේ පුතේ.. ඔලිම්පික් පදක්කමක් ගේන්ට ධෛර්ය ශක්තිය වාසනාව ලැබෙන්ට ඕන”.
ඇය තරුෂිට කීවාය. හිමින් ඇය අසලින් ගියාය. තරුෂි ඇය දෙස බලාගෙන ඉන්නවා දුටුවෙමි. මාධ්‍යයේ ඇස ඇය වෙත යොමු වි තිබිණි.
“ අනේ පුතේ.. මම ගැන කිසි දෙයක් අහන්න එපා. මම ගැන කිසිම දෙයක් ලියන්නත් එපා. ඒ දැරිවි රටට වාසනාවක්. එයා මේ රට ලෝකය ඉස්සරහින්ම උස්සලා තියයි. අපි හැමෝම එකතුවෙලා ඒ වෙනුවෙන් ආශීර්වාද කරමු.”
අම්මා කීවාය. ඒ අම්මාගේ ප්‍රාර්ථනාවේ ගැඹුර එතන සිටි කිසිවෙක් හඳුනා ගත්තා දැයි නොදනිමි. එසේ දැනෙන්නට ඕනෑත් නැත. එකම එක දෙයකි. තරුෂිට එය දැනුනා නම් හොඳටම ප්‍රමාණවත්ය. මේ රටේ ඇය වෙනුවෙන් බලාපොරොත්තු සහගතවන අප වැනි මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාව ඒ අම්මා කරාබු දෙකක දවටා තරුෂිට දුන්නාය.
ඉතින් තරුෂිට ලියමි.
තරුෂි දුවේ.. ඒ කාරාබු දෙක ගොඩක් බර වැඩියි… මේ තමයි ඔයාට රත්තරන් පදක්කමට පස්සේ දිනා ගත්තු වටිනාම දේ… ඔයා දන්නව ද?. සමහරවිට ඒ කරාබු දෙක තියෙන්නෙ ඔලිම්පික් පදක්කමකටත් වඩා උඩින්… ඔයාට එතෙන්ට යන්න මහා ශක්තියක් ඒ කරාබු දෙකෙන් ලැබුණා කියලා විතරක් හිතන්න.







