මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනයන් ඊයේ (18) විශ්‍රාම ගියේය. ජනාධිපතිවරයාගේ යෝජනාවක් ලෙස ඔහු වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සමුගැනීමේ උත්සවයක් සංවිධානය වී තිබිණි. ඒ උත්සව අවස්ථාවේ මහින්ද සිරිවර්ධන සභාව ඇමතුවේය.
දැන් මේ රටේ බලය වෙනුවෙන් ඒකාරාශී වී ඉන්නා රෙදි නැති විපක්ෂයේ මහත්තුරුත් ඒ මහත්වරුන් වෙනුවෙන් තවමත් දිවා රෑ රහිතව සමාජ මාධ්‍යයන්හි වැලළෙමින් සිටිනා දුක්ඛිත මනුෂ්‍ය ප්‍රජාවත් මේ කතාව අවධාරණයෙන් ඇසිය යුතු බවට යෝජනා කරමි.
මේ ඇසෙමින් තිබුනේ තමන්ගේ රට වැටෙමින් ඇති බව වසර ගණනාවක් තිස්සේ සක්සුදක් සේ පැහැදිලිව දැනගෙන කරන්නට දෙයක් නොමැතිව, කියන්නට කෙනෙක් නැතිව, අසනන්ට බලධාරියෙක් නැතිව හදවතින් හඬා වැටෙමින් සිටි හෘදය සාක්ෂියක් සහිත මනුෂ්‍යයෙකුගේ හදවත අවදි වූ සංවේදී ආකාරය ය.
“අදට හරියටම අවුරුදු 3යි මාස 2යි දවස් 10කට කලින් 2022 අප්‍රේල් 08 වැනිදා මම මහා භාණ්ඩාගාරයේ ලේකම් විදිහට වැඩ භාර ගත්ත දවස මට ඉතාම හොඳින් මතකයි. රට ඉතාම අමාරු තැනක තියෙනකොට තමයි මම මේ තැනට ආවේ.
මම මේ තනතුර බාර ගන්නකොට භාණ්ඩාගාරයේ ප්‍රමාණවත් රුපියල් තිබුණෙත් නෑ. ඩොලර් තිබුණෙත් නෑ. අපි හැමෝම ඒ තත්ත්තවය අත් වින්දා… අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වුනා. ඒ නිසාම ජනතා විරෝධ්‍ය මතුවුනා. රටේ ඇතිවුන අරගලයට මෙය ප්‍රධාන හේතුවක් වුනා. අපි ඒ හඬට මුහුණ දෙමින් තමයි මේ වැඩේ පළවෙනි මාසෙදි කරගෙන ගියේ. අවට ජනතාව වීදි බැස තිබුණා. මට ඒ හඬ තවමත් ඇහෙනවා වගේ. මහින්ද සිරිවර්ධන කීවේය.
“අප්‍රේල් 8 වෙනිදා මම වැඩ බාර ගත්ත දවසේ නෙමෙයි,මේ රට වැටෙන බව මම ඊට අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියා.මට මේක කියන්න වෙන කිසිම කෙනෙක් හිටියේ නෑ.මම ගවනර්ට කිව්වා. ගෙදර ගිහිල්ලා මම හැමදාම කිව්වෙ මගේ බිරිදට.ඒ මානසික පීඩනය තාමත් මට දැනෙනවා.
මේ අර්බුදය සමග මා අවුරුදු පහක් දුක් වින්ද මනුස්සයෙක්.මම මේක දැනගෙන හිටියා .ඒත් කරන්න දෙයක් තිබුණේ නෑ .මම කියපු දේවල් කවුරුත් ගණන් ගත්තේ නෑ. මුදල් මණ්ඩලයේ ගණන් ගත්තෙත් නෑ. ඒ දවස්වල හිටපු අධිපතිවරු ගණන් ගත්තෙත් නෑ. මේ තත්ත්වය එනවා කියලා සක්සුදක් සේ පැහැදිලි වුණා. නමුත් ඒ අනතුරු ඇඟවීම් වලට නිසි අවධානයක් යොමුවුණේ නෑ. මේ අර්බුදයේ 2020 සිට අද වනතුරු ඉන්න එකම ජ්‍යෙෂ්ඨයා මම වෙන්න පුළුවන්. ඒ අත්දැකීම් වලින් තමයි මම මේ ඉතා වගකීමෙන් කියන්නේ.”
මහින්ද සිරිවර්ධනයන් ඊයේ කළ ඒ සංවේදී කතාව ඔබ සම්පූර්ණයෙන් ඇසිය යුතුය. කරුණාකර ඒ කතාව අසා යන්න.







