මිලියන 22 ක් ජනතාව ජීවත් වන රටේ 2021 වසරේ ආදායම් බදු ගෙවා ඇති සම්පූර්ණ පුද්ගලයන් සහ සමාගම් ප්‍රමාණය 665ක් බවත් එම වසරේ රුපියල් ලක්ෂ 50කට වඩා ආදායම් බදු ගෙවා ඇත්තේ පුද්ගලයන් 137ක් පමණක් බවත් පොදුජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
2022 වසර වනවිට මෙරට මිලියන 22ක් පමණ ජනතාව අතරින් ආදායම් බදු ලිපිගොනු විවෘත තොට ඇත්තේ 2,92,325ක් පමණක් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් රුපියල් බිලියන 4000ක් පමණ මුදලක් ආදායම බදු ලෙස එකතු කර ගැනීමේ හැකියාවක් පවතින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඊයේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අදායම් වැඩි කර ගැනීම් යෝජනා පිළිබඳව සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා වැට් බද්ද නිසි ලෙස එකතු කරන්නේ නම් එයින් පමණක් රුපියල් බිලියන 1000ක ආදායමක් අය කර ගැනීමේ හැකියාව තිබෙන බව පෙන්වා දුන්නේය.
2021 වසරේ දී 1,05,000 සමාගම්වලින් බදු ගෙවා ඇත්තේ 15,069ක් බවත් එම බදු ආදායමෙන් සියයට 82ක් බදු ගෙවා ඇත්තේ සමාගම් 343ක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.
තවදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ ද කීවේය.
“වැට් බද්ද සඳහා ලියාපදිංචි අංක ලබා ගත් ආයතන 9070ක් මේ රටේ තිබෙනවා. ඔවුන් අතරින් 3020ක් ලිපි ගොනු විවෘත කර තිබෙනවා. මේ ලිපිගොනු විවෘත කළ අය අතරින් 2021 වසරේ වැට් බද්ද ගෙවා ඇත්තේ 185යි. “
“ආදායම් බදු දෙපාර්තමේන්තුවට රටේ සියලු සමාගම් සහ පුද්ගලයන් අතරින් 665ක් පමණයි දැනෙන විදිහට ආදායම් බදු ගෙවල තිබෙන්නේ. ප්‍රාග්ධන ඉපයීම් බද්ද පිළබඳව සැලකුවාම මම එක උදාහරණයක් දෙන්නම්. “
“ගාල්ලේ කොටුවේ ඉඩමක් විකුණපු එකක ලිපිගොනුවක් මේ. මේ පුද්ගලයා මෙම ඉඩම මිලදී ගන්නේ මිලියන 250කට. එය විකුණන්නේ මිලියන 2000ට. ලාබය මිලියන 1750යි. එච්චර ලාබයක් ගත් ඔහු ආදායම් බද්ද ලෙස ගෙවන්නේ ලක්ෂ 20යි.“
“මේ තත්ත්වය නිසා ප්‍රාග්ධන ඉපයීම් බද්දෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට උපයා ගතහැකිව ඇත්තේ මිලියන 357යි. ප්‍රාග්ධන බද්දෙන් ට්‍රිලියනයකට වැඩි අදායමක් උපයන්න පුළුවන්. “
“ආදායම් බදු දෙපාර්තමෙන්තුවේ බදු වර්ග 10ක් තිබෙනවා. පනත් පහක් තිබෙනවා එකක්වත් හරියට කළමනාකරණය කරල කටයුතු කරනවද කියල ප්‍රශ්නයක් තිබෙනවා.“
“ආදයම් බදු දොර්තමේන්තුවේ නීතියක් තිබෙනවා විදේශ ගත ශ්‍රමිකයකුට විදේශවල රැකියා කරන කාලය තුළ ආදායම් බදු පනත අනුව රැකියා කරන කාලය තුළ බැංකුවලට මුදල් ප්‍රේෂණය කළ යුතුයි. නමුත් එය සිදුවන්නේ නෑ.“
“මෙම විදේශගත ශ්‍රමිකයන් නිසි ලෙස මුදල් එවනවනම් තවත් ඩොලර් මිලියන 300කට වැඩිය සොයා ගන්න පුළුවන්. “ යයි ද පැවසීය.