කීර්ති ප්‍රනාන්දු –
රටේ ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය බිත්තර ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය වන මොහොතක මිල පාලනය කිරීමට යැයි පවසමින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමෙන් රට තුළ බිත්තර නිෂ්පාදනය විනාශ වී එහි ප්‍රතිවිපාක ඉදිරි කාලයේදී අත්විඳින්නට සිදුවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක පවසයි .
බිත්තර මිල ඉහළ දමන්නේ බිත්තර නිෂ්පාදකයින් නොව නිෂ්පාදකයින් සහ වෙළඳුන් යයි කියාගන්නා මාෆියා කරුවන් පිරිසක් බවත් එය පාලනය නොකර බිත්තර ආනයනය කිරීම සහ පාලන මිලක් දැමීම අනවශ්‍ය ක්‍රියාවක් බවත් ඔහු අවධාරණය කළේය .
දිනකට රට තුළ පරිභෝජනයට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ලක්ෂ 60 ක් පමණ වන බවත් එම ලක්ෂ 60 ඉක්මවා බිත්තර නිෂ්පාදනය මේ වෙන විට සිදුවන බැවින් එළඹෙන සිංහල අවුරුදු සමයේ කිසිදු හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය දේශීය බිත්තර ලබා දීමට හැකි බවද ඔහු පවසයි .
බිත්තර ආනයනය ඉතා භයානක තත්ත්වයක් බව පෙන්වා දෙන සභාපතිවරයා බිත්තර ගොවියන් කර්මාන්තයෙන් ඉවත්වීම තුළින් රට තුළ බිත්තර නිෂ්පාදනය විඳවැටි අනාගතයේදී රටේ ජනතාවට අවශ්‍ය බිත්තර සදහටම ආනයනය කිරීමට සිදුවිය හැකි බවටද අනතුරු අඟවයි .
මේ දිනවල රටේ කිසිදු පළාතක බිත්තර හිඟයක් ඇතිවී නැති බවත් මේ වන විට රුපියල් 55 ට පමණ පහළ බැස ඇති දේශීය බිත්තරයක මිල ඉදිරි සති දෙකෙන් පසු රුපියල් 50 වඩා අඩුවන බවද පැවසීය .
පසුගිය දිනවල රට තුළ මිල ඉහළ ගිය එලවලු, මස් ,මාළු ,මිලද පහත වැටෙමින් තිබීම නිසා බිත්තර මිලද පහත බැසීම වැළැක්විය නොහැකි බවත් ගැසට් ගැසීම සහ බිත්තර ආනයනය බසිමින් ඇති බිත්තර මිලට බාධාවක් බව ද ඔහු කීවේය.
රට තුළ බිත්තර මිල ඉහළ දමන බිත්තර මාෆියාවට විසඳුම් ලබා නොදීම අද වන විට සුළු හා මධ්‍යපරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට ගැටලුවක් වී ඇතැයිද දුරදිග නොබලා බිත්තර ආනයනය කිරීම තුළින් රජය බිත්තර මිල පාලනයක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එය කිසිදු පලක් නොවනු ඇති බවත් සිදුවන්නේ නඟා සිටුවිය යුතු දේශීය බිත්තර නිෂ්පාදනය විනාශ කර අනාගත පරපුරටද බිත්තර ආනයනයකර කන්නට සිදුවීමක් බවද පැවසීය.
එසේම කොළඹට වී බිත්තර ආනයනය කිරීම හා ගැසට් ගැසීම කරන ඇමතිවරුන් මෙන්ම නිලධාරීන් රට තුළ විශාල බිත්තර නිෂ්පාදනයක් සිදු කරන වයඹ පළාතට පැමිණ විශාල ලෙස සිදුවන බිත්තර නිෂ්පාදනය දෙස ඇස් ඇර බැලිය යුතු බවද වැඩිදුරටත් පෙන්වා දෙයි.







