මනම්පිටිය නිමල් ජයරත්න –
.
මෙවර යල කන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ පළමු වී තොගය රජය මගින් මිලට ගැනීමේ කටයුතු අද ( 13 ) සවස වී අලෙවි මණ්ඩලයේ මනම්පිටියේ පිහිටි වී ගබඩාවේදී සිදු විය.
ඒ අනුව රජයේ වියළි බර සැලකිල්ලට ගනිමින් නාඩු වීකිලවක් රුපියල් 120 බැගින් වී කිලෝ 4000 කට ආසන්න ප්‍රමාණයක් මිලට ගත් බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව කළමනාකරු නිමල් ඒකනායක කීවේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා 12 මේ වනවිට විවෘතව තබා ඇති අතර, මනම්පිටිය සහ අඹගස්වැව ගබඩා දෙක සඳහා වි කිලෝ 10,000 කට ආසන්න ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලයේ ගබඩා 12 ක් පසුගිය ජුලි 15 වෙනිදා සිට විවෘත කලද 13 වෙනිදා දක්වාම ගොවීහු රජයේ ගබඩා වෙත වී ලබාදීමට ඉදිරිපත් නොවූහ.
පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සී කලාපවල මෙවර යල කන්නයේ වී අස්වනු නෙළීම් කටයුතු මේ වෙන විට සියයට පනහක් අවසන් වී තිබෙන අතර, පෞද්ගලික වෙළඳුන් කුණු කොල්ලයට වී ලබා ගැනීම හේතුවෙන් රජයේ සහතික මිල වන රුපියල් 120 ට නාඩු වී ලබාදීමට ගොවීන් ඉදිරිපත් වෙමින් සිටින බවද වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් කළමනාකරු නිමල් ඒකනායක කීවේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා තව තවත් ඉදිරියේදී විවෘත කරන අතර, රජයේ සහතික මිලට ඕනෑම ප්‍රමාණයක් මිලට ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.
මේ වන විට පෞද්ගලික වෙළඳුන් අමු නාඩු වී කිලෝවක් රුපියල් 95 ක් වැනි මිලකටත්, වියලි නාඩු වි කිලෝවක් රුපියල් 113 කටත් මිලදී ගනිමින් සිටිති.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් තමන්ගේ වී රුපියල් 90 ක් 95 ත් අතර පමණ මිලට ගෙන ඒවා සහල් බවට පත්කර, ඉදිරියේදී සහල් කිලෝවක් රුපියල් 250 ක් වැනි මිලකට ලබාදීමේ කූට ව්‍යාපාරයට සූදානම් වන බවත්, ඒ සඳහා රජය මැදිහත් වී යම් වැඩපිළිවෙළක් යොදන ලෙසත් ගොවීහු ඉල්ලති.
විශේෂත්වය වන්නේ ඔවුන් මේ කෑ මොර දෙමින් ප්‍රශ්න මතු කරන්නේ වී මිල පාලන සඳහා රජය ඉදිරිපත් කර ඇති ප්‍රායෝගිකම විසඳුම වූ රජයේ මිලට රජයේ වී ගබඩාවලට වී ලබා නොදෙන පසුබිමකය.







