දිනසේන රතුගමගේ –
රජයෙන් නිකුත් කරණ ලද ඉන්ධන බලපත්‍රයට ඉන්ධන ලබා ගෙන ඇති රජයේ සේවකයින් සේවයට වාර්තා කිරීම නිසි ලෙස සිදු කරන්නේද යන්න පිළිබදව ආයතන ප්‍රධානීන් දැඩි අවධානයෙන් සිට එසේ නොකරන පිරිසට වහාම දඩුවම් ලබා දෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගාරජා උතුරේ රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
උතුරේ සෞඛ්‍ය සේවාවේ නිරත සියලුම දෙනාට මේ වන විට සති දෙකක කාලයකට ඉන්ධන ලබා දී ඇති අතර එසේ ඉන්ධන ලබාගත් පිරිස් ඉන්ධන වැඩි මිලට විකුණා සේවයට යාමෙන් වැළකී සිටින බවට ලැබී ඇති පැමිණිලි කීපයක් නිසා ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන තිබේ. සෞඛ්‍ය සේවාවේ නිරත පහළ ශ්‍රේණිවල සේවකයින් බලපත්‍රවලට ලබා ගත් ඉන්ධන පිටස්තර පුද්ගලයින්ට අධික මිල ගණන්වලට අලෙවි කොට ඇති බවට උතුරේ සෑම දිස්ත්‍රික්කයකින්ම පැමිණිලි ලැබී ඇත.
මේ නිසා ඔවුන් සේවයට වාර්තා නොකොට සිටින බවත් ඒ පිළිබඳව ආයතන ප්‍රධානීන් තොරතුරු විමසන විට සේවයට පැමිණීමට ඉන්ධන නොමැති බව හේතුව වශයෙන් දක්වා සිටින බවත් ප්‍රකාශ කරන ආණ්ඩුකාරවරයා වහාම ආයතන ප්‍රධානීන් මේ ගැන සොයා බලා සේවයට නොපැමිණෙන පිරිසට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා ලෙස දනුම් දී තිබේ.