ශ්‍රියානි විජේසිංහ
-
රුපියල් බිලියන 50ක් ඖෂධ සැපයුම් කරුවන්ට ණයයි… ඒ නිසා ඖෂධ සැපයීම ඔවුන් සීමා කරලා…
රුපියල් බිලියන 50ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන්ට ලබා දීමට තිබෙන බැවින් ඖෂධ සැපයීම සීමා කිරිමට සැපයුම්කරුවන් තීරණය කිරීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල උග්‍ර ඖෂධ හිඟයක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර නිර්වින්දන වායු ඖෂධ ලෙස භාවිත කරන අයිසොෆ්ලුරේන් (Isoflurane) සහ සෙවොෆ්ලුරේන් (Sevoflurane) වල බරපතල හිගයක් මේ වන විට රටපුරා රෝහල්වල ඇති බැවින් රෝගින්ගේ ජීවත දැඩි අනතුරකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටීයි.
මෙම නිර්වින්දන ඖෂධ නැවත ලංකාවට එන දින වකවානු පිලිබඳව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයාට බතා සැපයුම්කරුවන්ටවත් නිවැරදිව කිව නොහැකි බව කරන ලද සොයා බැලීම් වලදි අනාවරණය වී ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
මේ වන විට නුවරඑළිය මහ රෝහලේ අයිසොෆ්ලුරේන් ඖෂධය ඇත්තේ එක් දිනකට පමණක්වන අතර සෙවොෆ්ලුරේන් ඖෂධය දින 4ට හෝ 5ට පමණක් ප්‍රමාණවත් බව අනාවරණය වී ඇතැයි හෙතෙම පැවසුවේය.
සෙවොෆ්ලුරේන් ඖෂධය දින කීපයක්ට පැවතියද එය භාවිත කිරීමට අවශ්‍ය වේපරයිසර් ඇත්තේ දෙකක් පමණක් වන බැවින් සැත්කම් කළ හැක්කේ ශල්‍යාගාර දෙකක පමණක් යැයිද නුවරඑළිය රෝහල් අධ්යක්ෂවරයා පෙන්වා දී ඇතැයි වෛද්‍ය අලුත්ගේ සඳහන් කළේය.
මේ හේතුව මත ජිවිතාරක්ෂ සැත්කම් පමණක් සිදුකර සැලසුම්කළ හා බරපතල නොවන සැත්කම් කිරීම තාවකාලිකව නතර කිරිමට රෝහල් අධ්යක්ෂවරයා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය තීරණය කර ඇති බවද සඳහන්වේ.
නිර්වින්දනය සදහා විකල්ප ඖෂධ තිබෙන නමුත් ඒවා භාවිත කිරීමෙන් රෝගීන්ට අතුරු ආබාධ රැසක් පැන නගින නිසා ඒවා භාවිතයට ගැනීම හැකි තාක් අවම කර ඇතැයිද වෛද්‍ය අලුත්ගේ අවධාරණය කරයි.