දිනසේන රතුගමගේ –
මහජනතාවට හිරිහැර වන සේ යාපනය බස් නැවතුම් පලේ යාපනයේ කඩු කල්ලියේ නායකයෙකුගේ උපන් දිනය සැමරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලීසිය තරුණයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඊයේ (15) අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබේ.
එම තරුණයින් දෙදෙනා නොවැම්බර් මස 3 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් මෙම සිද්ධියට සම්බන්ධ සෙසු ප්‍රධාන සැකකරුවන් සියලුම දෙනා අත් අඩංගුවට ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට තිබේ.
ඒ අනුව එම පිරිස අත් අඩංගුවට ගනීමට පොලිසිය විශේෂ පරීක්ෂණයක් අරම්භ කොට තිබේ.
යාපනයේ කඩු කල්ලියේ නායකයෙකුගේ උපන් දිනය නිමිත්තෙන් තරුණයින් 200 ක් පමණ දෙනා යතුරු පැදි සීයකින් පමණ යාපනය බස් නැවතුම් පලට පමිණ කෑ කෝ ගසමින් උපන් දින සාදයක් පවත්වා තිබේ.
මේ ස්ථානයේම කේක් ගෙඩියක් කපා මත්පැන් පානය කරමින් තරුණයෝ කෑ කෝ ගැසූ අවස්ථාවේදී යාපනය බස් නැවතුම් පලේ සිටි පිරිස බියට පත්ව එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් යාපනය පොලිසියට ලැබුණු දුරකතන ඇමතුමක් නිසා වහාම පොලිස් කණ්ඩායමක් පැමිණ උපන් දිනය සමරමින් සිටි පිරිසේ නායකයින් දෙදෙනාගෙන් ප්‍රශ්න කොට ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබේ.
මේ අවස්ථාවේදී සෙසු තරුණයින් යතුරු පැදි වල නැගී පලාගොස් ඇත.
සැකකරුවන් දෙදෙනා මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මහජනතාවට හිරිහැරවන අන්දමට හා නීතිය සාමය කඩකරමින් බීමත්ව හැසිරීමේ චෝදනාව මත මෙම උත්සවය සංවිධානය කළ ප්‍රධාන පිරිස අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙස මහෙස්ත්‍රාත්වරයා යාපනය පොලිසියට නියෝග කොට තිබේ.