පෙරේදා (05) දිනයේම තමන් සමග ගතකර කිසිම වෙනසක් නොපෙන්වා වැඩකළ මෛත්‍රීපාල සිරිසේන හවස තමන් තනතුරෙන් අස්කල බව දන්වා ලිපිය එවන විට තමන්ට අදහාගත නොහැකි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළවාහල මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.
ඔහු කියන්නේ තමන් මෛත්‍රීපාල සිරිසේනට සැලකුවේ පියෙකු ලෙසින් බවත් තාත්තා මේ ආකාරයෙන් පුතාගේ බෙල්ල කැපීම හිතාගන්නටවත් නොහැකි බව ඔහු වැඩිදුරටත් කියයි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසන්නේ මෛත්‍රීපාල සිරිසේනට හුරු මේ උදේ එකට සිට හවසට බෙල්ල කැපීමේ කලාව තමාට නුහුරු බවය. තනතුරු ලොකු දේවල් නොවුන ද තමන්ට වූ මේ අසාධාරණය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා කීවේය.
තලවතුගොඩදී ඊයේ (06 දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මෙසේ ද කීවේය.
“තනතුරු කියන ඒවා මට එච්චර ලොකු නැහැ. මම බලය තිබියදී වගේම බලය නැතිවත් වැඩ කරලා තියෙනවා. ඒ නිසා මම පක්ෂයේ සංවිධායකයන්ගෙන් හා පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මම පක්ෂය අතහැර යන්නේ නැහැ, විපක්ෂයේ අනෙකුත් බලවේග සමග එකතුවෙලා නැවත පක්ෂය නඟාසිටුවීමයි මගේ අරමුණ. නැවත පක්ෂය නැගිටුවනකන් ඉවසීමෙන් ඉන්න කියල මම සියලු දෙනාගෙන්ම ඉල්ලනවා.
මෛත්‍රිපාල සිරිසේන මහතා 05 වැනිදා උදේ ඉඳලාම මාත් එක්ක එකට හිටියේ. එතුමා මගේ කිසිම ගැටලුවක් ගැන මට නොකියා, හිටපු ගමන් නින්දෙන් ඇහැරිලා වගේ රෑ මට ලියුමක් එවනවා, මාව අස්කලා කියලා. මට හිතාගන්නවත් බැරි වුණා. ඒක ඉතින් එතුමාට පුරුදු ඇති. නමුත් මට ඒවා පුරුදු නැහැ.
ආණ්ඩුවේ ඇමැති ධුර ගත්ත පිරිසක් පක්ෂයට ඇතුළුවෙලා පක්ෂය විනාශ කරන්න කුමන්ත්‍රණය කරනවා. මෙතන ගැටලුව ඒකයි.
මෛත්‍රිපාල සිරිසේන මහතාට මම සැලකුවේ තාත්තා කෙනකුට වගේ. තාත්තා පුතාගේ බෙල්ල කපන එක තමයි හිතාගන්න බැරි.
කොහොම වුණත් මේ ඉවත් කිරීමට විරුද්ධව මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පක්ෂයෙන් ඉවත් වෙලා ආණ්ඩුවේ ඇමැතිකම් ගන්න අයට පුළුවන් නම් පක්ෂය ඇතුළට ඇවිත් අපිව එළියට දාන්න කොහේවත් නොගිහින් පක්ෂය ගොඩදාපු මට නීතිය ඉදිරියට ගිහින් මේ ප්රශ්නය විසඳා ගන්න බැරි වෙන්න බැහැනේ.