2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු මස 31දා තෙක් වූ කාල පරාසය ත තුළ අතදරුවන් සමග කාන්තාවන් 38 දෙනෙක් බන්ධනාගාරගත වී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (08) පාර්ලිමේන්තුවේ දී හෙළි කළාය.
නීතිඥ හසාරා ලියනගේ විසින් වාචික පිළිතු අපේක්ෂාවෙන් අගමැතිවරියගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය තවදුරටත් කීවේ මව්වරුන් සමග බන්ධනාගාරගතව සිටින නොදරුවන් අතර පිරිමි දරුවන් 15ක් සහ ගැහැනු දරුවන් 23ක් සිටින බවය.
එම කාල වකවානුව තුළ සිර දඬුවම් නියම වූ කාන්තාවන් සංඛ්‍යාව 425ක් බවත් සැක මත රිමාන්ඩ් බන්ධනාගාරගත කළ කාන්තාවන් ගණන 4486ක් බවත් අගමැතිනිය පැවසුවාය.
මවුවරුන් සමග බන්ධනාගාරගතවීමට සිදුව ඇති වසය අවුරුදු 5ට අඩු දරුවන් රැක බලා ගැනීම සඳහා බන්ධනාගාර කාන්තා අංශ තුළ විශේෂ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවත්, මේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන තුළ බන්ධනාගාරයේ අනෙකුත් රැඳවියන්ගෙන් වෙන්ව මවුවරුන් සමග ගත කිරීමට මේ දරුවන්ට පහසුකම් සලසා ඇති බවත් අගමැතිවරිය පැවසුවාය.
මේ දරුවන්ගේ පෝෂණය පිළිබඳ ද හෙළි කළ ඇය පෙන්වා දුන්නේ දෛනිකව රැඳවියන්ට ලබා දෙන ආහාර සලාකය මෙන්ම මේ දරුවන්ට ද දිනකට අවශ්‍ය කිරිපිටි ද්‍රව්‍ය සහ සැහැල්ලු ආහාර සලාකයක් බන්ධනාගාරයේ සලාක අංශය මගින් දරුවන්ට නිකුත් කරන බවය. ඊට අමතරව පරිත්‍යාගශීලීන් විසින් යම් යම් අවස්ථාවලදී ලබා දෙන දිවා ආහාර, කෙටි ආහාර, කිරි ආහාර, පළතුර වර්ග දරුවන්ට ලබා දෙන බවත් සිරකරු සුබ සාධක සංගම් උප කමිටු මගින් ද දරුවන්ට සහ මව්වරුන්ට විශේෂ ආහාර ලබා දෙන බවත් අගමැතිනිය හෙළි කළාය.
මව්වරුන් සමග බන්ධනාගාරගත වන දරුවන්ගේ අධ්‍යාපනයට අදාලව පෞද්ගලික ආයතනයක සම්පත් දායකත්වයෙන් දැනට වසර 10ක සිට මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන භාර උපදේශකවරියකගේ දායකත්වයෙන් මේ කුඩා දරුවන්ට අවශ්‍ය මුල් ළමා විය සංවර්ධනයට අදාල අධ්‍යාපනය ලබා දෙන බවත් විටින් විට ඉදිරිපත්වන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල උපාරයෙන් ද අධ්‍යාපනයට ලැබෙන භෞතික සම්පත් කළමනාකරණය කරගන්න අයුරු අගමැතිනිය පාර්ලිමේන්තුවට කීවාය.
මේ දරුවන් සහ මව්වරුන් වෙනුවෙන් පවතින අණ පනත් සංශෝධනය කරගෙන මේ දරුවන්ගේ වෙනුවෙන් කරන රාජ්‍ය මැදිහත්වීම තීව්‍ර කරන බව පැවසූ අගමැතිනී හරිනී අමරසූරිය වැඩිදුරටත් කීවේ දරුවාට වයස අවුරුදු 5 පූර්ණය වූ පසුත් මවට දිගටම බන්ධනාගාරය තුළ රැඳෙන්නට සිදුවේ නම් දරුවා භාර කරන භාරකරු හා රජය සම්බන්ධ වී එම දරුවාගේ සෞඛ්‍ය සහ අධ්‍යාපන පෝෂණ තත්ත්වයන් අධීක්ෂණය හැකි උපරිමයෙන් ඊට දායක වීමේ වැඩපිළිවෙළක් රජය ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසුවාය.







