තුෂාරී කළුබෝවිල –
බදාදා සහ බ්‍රහස්පතින්දා (8-9) ශ්‍රී ලංකාව පුරා උෂ්ණත්වය පහත වැටුණේ දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මැන්ඩවුස් සුළි කුණාටුව මගින් ඉන්දියානු අවකාශයේ සිට ඇද ගන්නා ලද දූෂිත දුමාරයේ සහ සුළඟේ ඒකාබද්ධ බලපෑම් මෙන් ම ඊසාණ දිග මෝසම් කාලයේ ඉන්දියාව සහ ටිබෙටය හරහා හමා එන දැඩි සීතල සුළං ධාරා හේතුවෙන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ තත්ත්වය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අතිශය අසාමාන්‍ය ශීත කාලගුණයක් ඊයේ (08) සහ අද (09) අත්විඳින්නට ලැබී ඇත.
ඊයේ (09) නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9 දක්වා පහත වැටී තිබිණි. රට පුරා අනෙක් ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20ට වඩා පහළ වැටුණේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, දකුණු ඉන්දියාවේ සිට සුළං සහිත දුමාරය සහිත වායු ධාරා ඇදගනිමින් නිරිතදිග බෙංගාල බොක්ක ඔස්සේ ශ්‍රී ලංකාව සහ ලංකාව ආශ්‍රිත සාගරය හරහා මැන්ඩවුස් සුළි කුණාටුව චලනය වීමත් මෙයට සුවිශේෂ හේතු ව විය.
එසේ ම ඊසාණ දෙසින් වන ඉන්දියාව සහ ටිබෙටය ආශ්‍රිත ව දැඩි සීතලක් පැවතීමත්, එම ප්‍රදේශවල බොහෝ ස්ථාන හිමෙන් වැසී තිබීමත් නිසා හිම වැදී එන සුළඟ ද සීතලෙන් වැඩි බවත්, එම සීත සුළං සුළි කුණාටුව සමග ගැටෙමින් ශ්‍රී ලංකාවට ලැබීම නිසා සාමාන්‍ය උඳුවප් සීතල දෙගුණ තෙගුණ වී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා කීවේය.
මැණ්ඩවුස් සුළි කුණාටුව බටහිර-වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 09 මධ්‍යම රාත්‍රිය පමණ වන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය ඔස්සේ ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට පුරෝකථනය කර තිබේ.