දිනසේන රතුගමගේ –
මුලතිව් කොක්කුතුඩුවායී ප්‍රදේශයෙන් හමු වූ සමූහ මිනී වළ කැණීම සඳහා මුදල් හිඟයක් පැවතීම නිසා ඊට අවශ්‍ය මුදල් ජනාධිපති අරමුදලෙන් ඉල්ලා සිටීමට මුලතිව් අධිකරණයට 8 දා යෝජනාවක් ඉදිරිපත් විය.
මෙම සමූහ මිනී වළ එල්ටීටීඊ සෙබළියන් පිරිසක් මිහිදන් කළ ස්ථානයක් බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා එහි කැණීම් කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සිදු විය යුතු බවත් හමුවන අස්ථි කොටස්වලට අදාළ ඩී.එන්.ඒ. හා කාබන් වැනි පරීක්ෂණ කිරීම සදහා විශාල මුදලක් වැය වන නිසාත් යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කිරීමට රජය විසින් පිහිටුවා ඇති කාර්යාලය හරහා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත හැකි යැයි කොක්කුතුඩුවායී සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ නඩුව මුලතිව් අධිකරණයේදී විභාගය ගත් අවස්ථාවේදී නීතිඥ වී.කේ නිරන්ජන් ප්‍රකාශ කළේය.
නිරන්ජන් නීතිඥවරයා යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටින අතර මෙම නඩුව මෙදින විභාගයට ගන්නා ලද්දේ මුලතිව් මහේස්ත්‍රාත් ආර්. පාර්තීපන් ඉදිරියේදීය.
මෙම නඩුවට අදාල වාර්තාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කොට නොමති නිසා එම වාර්තාව ඉදිරිපත් වීමෙන් හ සෙසු වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත්වීමෙන් පසු සති තුනකට පසුව සමූහ මිනී වළේ කැණීම් කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් මුදල් ඉල්ලා සිටින්නේද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට කටයුතු කරන බව මෙහිදී මුලතිව් මහෙස්ත්‍රාත්වරයා පැවසීය.
මේ වන විට කොක්කුතුඩුවායී සමූහ මිනී වළෙන් අස්ථි කොටස් 18 ක්, ගිණි අවි හතරක් හා වෙනත් යුද උපකරණ කොටස් 23 ක් හමු වී තිබේ.
ඒවායෙහි පවතින ලක්ෂණ අනුව කොටි සෙබළියන් පිරිසක් මේ ස්ථානයේ මිහිදන් කොට ඇති බවට අනුමාන කෙරෙන අතර විධිමත් රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වෙන තුරු ඒ පිළිබඳ යමක් ප්‍රකාශ කළ නොහැකි බව මුලතිව් මහේස්ත්‍රාත්වරයා මීට පෙර නඩු විභාගයකදී නීතිඥයෙකු නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කොට තිබේ. කෙසේ වෙතත් දෙමළ දේශපාලනඥයන් පිරිසක් විසින් සාමාන්‍ය ක්‍රමයට අනුව මෙම සමූහ මිනී වලේ කැණීම් කටයුතු සිදු කිරීමට විරෝධය පලකරමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමකට අනුව කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ කැණීම් කටයුතු අතර මග නවතා දැමීමට අධිකරණ නියෝගයකට අනුව සිදුව තිබේ.







