දිනසේන රතුගමගේ
මුලතිව් මල්ලාවී වැවේ මසුන් ලක්ෂ ගණනක් මියගොස් ඇති අතර බොහෝ දෙනෙකු එම මසුන් එකතු කොට අලෙවි කිරීමට පටන් ගෙන තිබේ.
මල්ලාවි වැසියෝ මියගිය මසුන් එකතු කොට ගොඩවල් ගසා එම මසුන් ගොඩවල් ඉතා අඩු මිලකට අලෙවි කිරීමට පටන් ගෙන ඇති නිසා වහාම පොලිසියට ඒ සම්බන්ධයෙන් මැදිහත් වී මසුන් අලෙවි කිරීමට ඉඩ නොතබන ලෙස ද සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කොට තිබේ.
ඒ අනුව පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මල්ලාවි වැවේ මාලු අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
මුලතිව් සෞඛ්‍ය බලධාරීන් මල්ලාවි වැවට ගොස් මසුන් මියයාම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර එහි පලමු පියවර වශයෙන් සෞඛ්‍ය බලධාරීන් අනුමාන කරනු ලබන්නේ අධික අව් රශ්මිය නිසා මසුන් මේ අන්දමට මියගොස් සිටින බවයි.
මියගිය මසුන්ගේ සාම්පල ලබා ගෙන එම සාම්පල යාපනය විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යා ඒකකය වෙත යවා ස්ථිර වශයෙන් නිගමනයක් ලැබෙන තුරු මල්ලාවී වැවේ මසුන් අනුභව කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය නිලධාරීන් දැනුම් දී තිබේ.
මේ පිළිබදව අදහස් දක්වමින් මුලතිව් ගොවි සංවිධාන නියෝජිතයෝ කියා සිටින්නේ ධීවර ව්‍යාප්ති නිලධාරීන් වැව් වල පවතින ජල මට්ටම ගැන තැකීමක් නොකොට මත්ස්‍ය පටව් ලක්ෂ ගණනින් වැව් වලට මුදා හැරීම නිසා මසුන් මියයන විට ලක්ෂ ගණනක් මියයන බවයි.
කෙසේ වෙතත් මසුන් මිය යාම නිසා මල්ලාවි වැව අවට මුළු ප්‍රදේශය පුරාම දඩි දුගධක් හමන්නට පටන් ගෙන තිබේ.







