අමායා උඩුවැරැල්ල –
වසර ගණනාවක් පුරා අන්තර්ජාලය තුළ ඉතා ජනප්‍රියත්වයට පත් සුනඛ සුරතලා කබෝසු මිය ගිය බව ඇගේ හිමිකාරිය පවසා තිබෙනවා.
ජපන් ෂිබා ඉනු වර්ගයට අයත් කබෝසු ලියුකේමියාව සහ අක්මා රෝගය ආදියෙන් පීඩා විඳ ඇති අතර ඊයේ එනම් මැයි 24 වන දා මිය ගොස් තිබෙනවා. මිය යන විට කබොසු ගේ වයස අවුරුදු 18ක් පමණ වූ බවයි සඳහන් වන්නේ.
කබෝසු මියගිය පුවත ඇගේ හිමිකාරිය වන සැටෝ විසින් සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා තිබෙනවා. එහි, “ඇය නින්දට යන්නාක් මෙන් නිහඬවම මිය ගියේ මම ඇයව සුරතල් කරමින් සිටින විටයි” යනුවෙන් සඳහන් කර තිබෙන අතර කබෝසු ට ආදරය කළ රසිකයන්ට ස්තූති කරමින් “මම හිතන්නේ කබෝ චන් ලෝකයේ සතුටින් ම සිටි සුරතලා ඒ වගේම මම තමයි සතුටින් ම සිටි අයිතිකාරයා” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ටෝකියෝවේ නැගෙනහිර සකුරා හි ගුරුවරියක් වන සැටෝ 2010 වසරේ දී මෝලක් අසල සිටියදී බලු පැටවා රැගෙන ගොස් ඇති අතර ඉන් වසර දෙකකට පමණ පසු තම සුරතලා සමග සිටින ඡායාරූපයක් ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබෙනවා. එතැන් සිට කබෝසු ගේ ඡායාරූප මිලියන ගණනක් සමාජ මාධ්‍යවල හුවමාරු විය. එය ක්‍රිප්ටෝ කරන්සි සමග සම්බන්ධ මීම් එකක් බවට ද පත් වූ අතර අවසානයේ කබෝසුගේ සිනාමුසු මුහුණ ඩිජිටල් කාසිවල රූපය බවට පත් විය.
කෙසේ වෙතත් 2022 වසරේ අගභාගයේදී කබෝසු ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් රෝගාතුර වී තිබූ අතර මෑතකදී විදෙස් මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී 62 හැවිරිදි වියේ පසුවන සැටෝ පවසා සිටියේ ලොව පුරා රසිකයින් කබෝසුගේ සුවය වෙනුවෙන් කළ ප්‍රාර්ථනා ශක්තියේ බලයෙන් ඇයට මේ දක්වා ජීවත් වීමට හැකි වූ බවයි.
මීම් සඳහාම කැප වූ ක්‍රිප්ටෝ සංවිධානයක් වන Own The Doge විසින් ඩොලර් 100,000 ක පමණ මුදලකින් කබෝසු සහ ඇගේ සෝෆා සමූහයේ ප්‍රතිමාවක් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සකුරා හි උද්‍යානයක විවෘත කර තිබෙනවා. එමෙන්ම සැටෝ සහ Own The Doge සංවිධානය විසින් ජාත්‍යන්තර පුණ්‍යායතන සඳහා විශාල මුදල් පරිත්‍යාග කර ඇති අතර, දරුවන් සුරැකීම අරමුණු කොට ගෙන ඩොලර් මිලියනයකට අධික මුදලක් ද පරිත්‍යාග කර ඇති බව වාර්තා වනවා.