ලලිත් චාමින්ද –
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (19) පෙරවරු 11.45 ට පමණ ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ රැඳවියන් සිව් දෙනෙකු බූස්ස බන්ධනාගාර රෝහල වෙත මාරු කර හැරීමට පියවර ගෙන තිබු බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි..

මීටියාගොඩ පොලිස් වසමේ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් සිව් දෙනෙකුට බන්ධනාගාරයේ තවත් රැදවියන් පිරිසක් විසින් පහර දී තියුණු ආයුධවලින් තුවාල සිදුකර තිබුණි.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් සිව්දෙනා ප්‍රතිකාර සඳහා දැඩි ආරක්ෂක රැකවරණ මධ්‍යයේ බූස්ස බන්ධනාගාර රෝහල වෙත මාරුකර හරිනු ලැබ ඇත.
බන්ධනාගාර අභ්‍යන්තරයේ ඇතිවූ මෙම ගැටුමත් සමග බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂක කටයුතුවෙනුවෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවනු ලැබුණි.
කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







