මිලේනියම් සිටි ආරක්‍ෂිත නිවාස ඇතුළු හමුදා බුද්ධි අංශ ආරක්‍ෂිත නිවාස වැටලීම් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ විත්තිකරුවකු වන හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ නිදොස් කොට නිදහස් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ප්‍රතික්ෂේප කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තිකරු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන්නේද? නැද්ද? යන තීන්දුව අද (24) කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට නියමිතව තිබුණි.
2002 ජනවාරි 01 වැනිදා සිට 2002 සැප්තැම්බර් 03 වැනිදා දක්වා කොළඹ, අතුරුගිරිය, මහනුවර සහ කඩුගන්නාව යන ප්‍රදේශවල පිහිටි හමුදා බුද්ධි අංශ ආරක්‍ෂිත නිවාසවල වැටලීම් සිදු කර ඔවුන් සතුව තිබූ යුද උපකරණ පැහැර ගැනීම සහ එම උපකරණවල ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබිණි.
ඊට අමතරව හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සහ හමුදා රහස් හෙළි කිරීම සම්බන්ධයෙන්ද මෙම නඩුව පවරා ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීමට අදාළ නියෝගය නිකුත් කරමින් සඳහන් කළේ අධිකරණයට ඉදිරිපත් කරන ලද සාක්ෂි මත විත්ති පාර්ශ්වයෙන් සාක්ෂි කැඳවා නඩුව ඉදිරියට ගෙන යාමට අධිකරණය තීරණය කළ බවයි.
විත්ති පාර්ශ්වයේ සාක්ෂි විමසීම සඳහා නඩුව පෙබරවාරි මස 21 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර සාක්ෂි ලේඛනය එදිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.







