දිනසේන රතුගමගේ –
විදේශ රැකියා නියෝජිතයින් පිරිසක් විසින් කැනඩාවට යවන බව පවසා ඉන්දියාවේදී අතරමං කළ ශ්‍රී ලාංකික දෙමළ වැසියන් 38 දෙනෙකු ඔවුන්ව වහාම තම රටට යවන ලෙස ඉල්ලමින් ඉන්දියාවේ රැඳවුම් කදවුරකදී උපවාසයක් ආරම්භ කොට තිබේ.
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේදී මේ පිරිස උපවාසය ආරම්භ කොට ඇත.
රැකියා නියෝජිතයින් මේ පිරිස කැනඩාවට රැගෙන යන බව පවසා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මංගලෝර් ප්‍රදේශයේ අතරමං කොට පලා යාමෙන් පසුව පොලීසිය විසින් මේ පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලාංකිකයින් 38 දෙනා මංගලෝර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් රැඳවුම් කඳවුරක රඳවා තබන ලෙස අධිකරණය නියෝග කොට තිබේ.
ඔවුන් කියා සිටින්නේ වහාම ඔවුන්ව ශ්‍රී ලංකාවට එවීමට කටයුතු යොදන ලෙසයි.
රැකියා ඒජන්සිකරුවන් විසින් තමන් සතුව තිබූ මුදල් හා ගමන් බලපත්‍ර ඇතුලු සියලු දේ ලබා ගෙන තිබීම නිසා ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි ඇති බවද උපවාසකරුවෝ පැවසූහ.
කර්ණාටක ප්‍රාන්තයේ පළාත් පාලන නිලධාරින් පිරිසක් උපවාසය ආරම්භ කොට ඇති මංගලෝර් රැදවුම් මධ්‍යස්ථානය වෙත ගොස් උපවාස කරුවන් සමග සාකච්ඡා කොට ඇතත් එම උපවාසය මෙතෙක් නතර කොට නොමැත.







