ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කර රටම ගිනි තැබූ මැයි 09 අපරාධය වළක්වා නොගැනීම සම්බන්ධව චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට පත්වීම වැලැක්වීමටත්, නීතිපති නියමයෙන් ලබා දීමට සිදුවී ඇති ස්ථාන මාරුව වළක්වා ගැනීමටත් ඔහුට සමීප, මෑතක දී බලවත් වුණු ප්‍රබල දේශපාලකයෙක් දැඩි මෙහෙයුමක් දියත් කර ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.
මෙම දේශපාලකයා විසින් මේ වනවිට අදාල නිලධාරියාව කෙටි කාලයක් සඳහා පුද්ගලික නිවාඩු ගැන්වීමට සලස්වා ඔහු වෙනුවෙන් වැඩ බැලීමට ඔහුගේ නියාමනයන්ට යටත් වෙනත් නිලධාරියෙක් පත් කිරීමට සැලසුම් කරමින් ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
මෙම පොලිස් නිලධාරියාට විදේශ ගමන් බලපත්‍රය අධිකරණය වෙත භාර දීමට නියෝග කළත් එය භාර දී නැති බවත් වාර්තා වේ. මේ වනවිට අදාල නිලධාරියා විදෙස් රාජකාරි ගමනකට යොමු කරන මුවාවෙන් විදෙස් ගමන් තහනම ඉවත් කරවාගෙන රටින් ටික කාලයක් පිට කර තැබීමට මේ වනවිට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
ඒ අතරතුර හමුදාපතිවරයාගේ සේවය අවසන් කළා සේ පොලිස්පතිවරයාගේත් සේවය නිමා කර ප්‍රශ්නගත පොලිස් නිලධාරියා පොලිස්පති කිරීමේ දේශපාලන සැලසුමක් ද ක්‍රියාත්මක බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
කෙසේ වෙතත් පොලිස් ලොක්කා බේරාගැනීමේ මෙහෙයුමේ නිරත දේශපාලඥයා හෙට ( 29) නීතිපතිවරයා හමුවීමට නියමිත බවත් බොහෝ විට එම රාජකාරි හමුවීමේ දී මෙම නිලධාරියා සම්බන්ධව කරුණු දක්වා නීතිපතිවරයාට යම් බපලෑමක් කිරීමට ඉඩ ඇති බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මේ නිලධාරියාට නීතිපති නියමය අනුව ස්ථාන මාරුවක් ලබා නොදීම සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමට පොලිස්පතිවරයා හෙටින් ඇරඹෙන සතියේ උසාවියේ පෙනී සිටීමට නියමිතව ඇත.