මගීන් 22ක් සමග අද උදෑසන 9.55ය පමණ අතුරුදහන් වූ ගුවන් යානය අනතුරකට ලක් වී නේපාලයේ මස්ටෑන්ග් හි කොවාන්ග් ගම්මානයෙන් සොයා ගෙන තිබේ.
යානයේ තත්ත්වය සහ පුද්ගල ජීවිත සම්බන්ධ තොරතුරු තවමත් තහවුරු කර නොමැති වටපිටාවක අනතුර සිදු වී ඇති කඳුකර භූමියේ හිම පතනය සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම අදට නවැත්වීමට මෙහෙයුම් කණ්ඩායම්වලට සිදු වී තිබේ.
මේ වනවට සෙවීම් සහ ගලවාගැනීම් සඳහා යොදවා ඇති සියලුම හෙලිකොප්ටර් යානා නැවත කඳවුරු වෙත කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නේපාලයේ ටාරා එයාර් පෞද්ගලික ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන මෙම කුඩා මගී ගුවන් යානය අද පෙරවරු 9.55 ට පොකාරා සිට ගුවන්ගත වී තිබිණි. ගුවන් යානය පෙරවරු 10:15 ට බටහිර කඳුකර කලාපයේ ජොම්සම් ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව පැවතිනි.
යානය ගුවන්ගත වී මිනිත්තු 15 කට පසු පාලක කුළුණ සමඟ සම්බන්ධතා නැති වී ගොස් ඇත.
“ප්‍රදේශවාසීන්ගේ තොරතුරුවලට අනුව, තාරා එයාර් ගුවන් යානය ලාම්චේ ගං මෝය අසලදී කඩා වැටී තිබෙනවා. නේපාල හමුදාව ගොඩබිම් සහ ගුවන මාර්ගයෙන් එම ස්ථානයට ගමන් කරමින් සිටී,” නේපාල හමුදා ප්‍රකාශක නාරායන් සිල්වාල් උපුටා දක්වමින් විදේශ මාධ්‍ය අද දහවල් වාර්තා කළේය.
මෙම ද්විත්ව ඇන්ජින් බලයක් සහිත 9එන්-ඒඊටී ගුවන් යානයේ ඉන්දීය ජාතිකයන් හතර දෙනෙක්, ජර්මානු ජාතිකයන් දෙදෙනෙකු සහ නේපාල මගීන් 13 දෙනෙකු සිටි බව ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.
හිමෙන් වැසී ගිය විසල් කඳුමුදුන් සහිත කඳුකර රාජ්‍යයක් වූ නේපාලයේ දීර්ඝ ගොඩබිම් ගමන් සඳහා ගතවන කාලය අවම කරගැනීම සඳහා කඳු අතරින් සිදුවන අභ්‍යන්තර ගුවන් ගමන් වාර ගණනාවක් සිදුවේ. එහෙන්ම ලෝකයේ වෙනත් තැන්වලට සාපේක්ෂව ගුවන් යානා අනතුරට ලක්වීම නේපාලයේ වැඩි වශයෙන් වාර්තා වේ.